තැලසීමියා සැත්කමට තව ලක්ෂ 5ක් මදි

  👤  3317 readers have read this article !
By mawbima 2017-12-07

තම එකම සිඟිති දියණියගේ ජාන බද්ධ සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ 33ක මුදලක් දැඩි පරිශ්‍රමයකින් සොයාගත් මවක් සැත්කම සඳහා වන රුපියල් ලක්ෂ 38ක මුදල සම්පූර්ණ කර ගැනීම සඳහා ඉතිරි රුපියල් ලක්ෂ පහක මුදල සොයාගැනීමට නොහැකිව තම දියණියගේ සැත්කම වෙනුවෙන් හැඬු කඳුළින් පසුවන පුවතක් මිහින්තලේ වෙල්ලාරගම ප්‍රදේශයෙන් වාර්තා විය.

උපතේ සිට තැලසීමියා රෝගයෙන් පෙළෙන අවුරුදු තුනක් වයසැති මිහින්තලේ වෙල්ලාරගම පදිංචි අරුන්දි නවෝද්‍යා සේනාරත්න දැරියට සැත්කමක් කිරීම සඳහා ඇයගේ මවුපියන් මහජනතාවගේ ආධාර අපේක්ෂා කළ අතර පුවත්පත් මඟින් මෙම පුවත පළ වූ පසු ඊට යහපත් ප්‍රතිචාර ලැබී යම් ප්‍රමාණයකින් මුදල් පරිත්‍යාගයද ලැබී තිබිණි. ඉතිරි මුදල සම්පූර්ණ කරගැනීම සඳහා ඔවුන් තමන් හා තම මවුපියන් සතු වූ ඉඩකඩම්ද විකුණා තිබේ.

මෙම දැරියගේ ජාන බද්ධ සැත්කම මෙම දෙසැම්බර් මස 28 වැනි දින නවලෝක රෝහලේ දී සිදුකිරීම සඳහා ලියාපදිංචි වී සිටින අතර ඉතිරි මුදල සොයා ගැනීම ඔවුනට දැඩි අභියෝගයක්ව පවතී. සැත්කම සඳහා පමණක් රුපියල් ලක්ෂ 38ක මුදලක් නියම වුවද සැත්කමින් පසු අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතැම් විට රුපියල් ලක්ෂ 45කට ආසන්න (සම්පූර්ණ වියදම) මුදලක් වැය වන්නට ඉඩ ඇතැයිද වෛද්‍යවරුන් පැවැසූ බව දැරියගේ මව වන ඉන්දිකා සමන්මලී නානායක්කාර මහත්මිය සඳහන් කළාය.
ඇයගේ වැඩිමල් සහෝදරයාගෙන් ලබාගන්නා ජාන අරුන්දිට බද්ධ කිරීමට නියමිත අතර ඇයගේ සහෝදරයා දැනට මිහින්තලේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් අ/වෙල්ලාරගම විදුහලේ හතරවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබයි. ඔහු නමින් මාෂිත පවන් සේනාරත්න නම් වේ.

දැරියගේ පියා වන ජේ. මහින්ද සේනාරත්න මහතා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළකු ලෙස සේවය කරන අතර තම පවුලට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති හෙයින් මාසික වේතනයෙන් මෙම කටයුතු සඳහා මුදල් වෙන්කර ගැනීමට නොහැකි බව පවසයි.

දරුවන් තිදෙනකුගෙන් සමන්විත පවුලේ ළාබාල දියණිය අරුන්දි සුවපත් කරගැනීමට ආධාරයක් කළ හැකි අයකු වෙතොත් ලංකා බැංකුවේ මිහින්තලේ ශාඛාවේ අංක 76593526 දරන ගිණුමට ආධාර ලබාදෙන ලෙසත් 0783911207, 0783911206 දුරකතන අංක අමතා තොරතුරු ලබාගත හැකි බවත් මව ප්‍රකාශ කළාය.

නාච්චාදුව - කිත්සිරි වනසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon