ශ්‍රී ලනිපයටත-ඒකාබද්ධයටත් එක්වීමට ඔළමොට්ටලයන් දෙදෙනෙක් ඉඩ දෙන්නේ නෑ

  👤  3444 readers have read this article !
By mawbima 2017-12-07

දෙනගම ධම්මික රණවීර

ශ්‍රී ලනිපයට සහ ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නොදී දෙදෙනෙක් ඔළමොට්ටල ලෙස කටයුතු කරන බවත් ඔවුන්ගේ නම් ඉදිරියේදී හෙළි කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ඔහු එසේ පැවසුවේ ඊයේ (06දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්ය. වැඩිදුරටත් සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද අදහස් දැක්වූහ.

ජීවන මිල ඉහළ යෑම වළක්වන්න හාල් සහ පොල් පමණක් ආනයනය කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබෙන්නේ ඇයි?

ගයන්ත කරුණාතිලක මහතා
ජීවන මිල 60%ක් පමණ බලපාන්නේ එම භාණ්ඩ දෙකයි. ඒ නිසා සහල් ආනයනයට සතොසටත් පෞද්ගලික අංශයටත් අවස්ථාව දෙනවා. පොල් ආනයනය වැවිලි කර්මාන්ත ආමාත්‍යාංශය සිදු කරනවා. ඒවා අඩු මිලට වෙළෙඳපොළට ලබාදීමට තීරණය කිරීමේ කටයුතු ජීවන වියදම් කමිටුවට භාරදුන්නා.

දයාසිරි ජයසේකර මහතා
හාල් ගෙන්වීමට තීරණය කිරීමට වගා කන්න 05ක් වැඩ නොකිරීමත් හේතුවක් වුණා. හාල් ටොන් ලක්ෂයක විතර ප්‍රමාණයක් උත්සව සමය වනවිට ගෙන එනවා. පවුලක ආර්ථිකයෙන් 26%ක් හාල්වලිනුත් 31%ක් පොල්වලිනුත් පාලනය වනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් පොල් ගස් ලක්ෂ 2ක් විනාශ වෙලා. පොල් සහනාධාරය පිළිබඳවත් වැරැදි තොරතුරු සමාජගත වෙලා. හෙක්ටයාර් 1ට ටොන් 5ට සරිලන ලෙස රුපියල් 25,000ක මුදලක් ගොවීන්ට ගෙවනවා.


හම්බන්තොට වරාය සේවකයන්ගෙ රැකියා පිළිබඳ අර්බුදයක් පවතිනවා. ඒ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළාද?
අපි මාස පහ හමාරක වැටුපක් වන්දියක් ලෙස ගෙවනවා. ඒ වගේම අලුතින් හදන සමාගමේ සේවකයන් ලෙස ඔවුන්ව බඳවා ගන්නත් එම සමාගම සූදානමින් සිටිනවා. ඒත් එම සේවක පිරිස දේශපාලන අතකොළු බවට පත්වී සිරවී සිටිනවා.

ශ්‍රී ලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡාවල ප්‍රගතිය කෙබඳුද?
අපි අපේ අත දිගු කිරීම සිදු කොට තිබෙනවා. නමුත් වෙනම පක්ෂ හදන්න කියලා කවුරුත් කිව්වෙ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එකට එකතු වෙලා වැඩ කරන්න කැමැතියි. මෛත්‍රිපාල ජනාධිපතිතුමත් කැමැතියි. ඒත් මෙතැන සිටින දෙන්නෙක් මේකට විරුද්ධයි. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු නායකයො එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ඉන්නවා. අපි ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව තීරණයක් ගත්තා ශ්‍රී ලනිප මන්ත්‍රිවරු ශ්‍රී ලනිප අපේක්ෂකයන් දිනවීම හැර වෙනත් පක්ෂයක අපේක්ෂකයන් දිනවීමට ක්‍රියා නොකළ යුතුයි කියලා.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලනිපයට පුළුවන්ද එජාපය පරාජය කරන්න?
මේ මැතිවරණයෙන් පළාත් පාලන ආයතනයක බලය පිහිටුවන්න නම් 60%ක්වත් දිනන්න ඕන. අපි ගණන් හදපු විදියට එහෙම ජයගන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන් එකතුවෙලා තමයි ආණ්ඩු පිහිටුවන්න වෙන්නෙ.

මේ සාකච්ඡා සිදුවන්නේ මැතිවරණයෙන් පසුව එකඟතාවකට යන්න කියලත් ආරංචියි?
මැතිවරණයක් ඇතුළෙ විශාල අර්බුද ඇති වෙනවා. ඒත් අපේ දෑත් අපි දිගු කරලා තියෙනවා. අපි ශ්‍රී ලනිප අත ලකුණින් තරග කරනවා. ඒත් සමහර ප්‍රදේශවලට බුලත් කොළය යටතේත් තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලනිපයට හා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙනව නම් එකතු වෙන්න තිබුණා. නමුත් ඔවුන් කිව්වා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා.

එජාපයට පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ හැකිද?
ගයන්ත කරුණාතිලක මහතා,
අගමැතිතුමාගේ නායකත්වයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අඟහරුවාදා සවස රැස්වුණා. අලියා ලකුණින් එක්සත් ජාතික පෙරමුණෙන් තරග කිරීමට තීරණය කළා.
එජාපයට හා ශ්‍රී ලනිපයට එකතු වෙන්න පුළුවන්කමක් නැද්ද?
දයාසිරි ජයසේකර මහතා
දෙක තුනම තීරණය වෙන්න පුළුවන්.

සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම දෙසැම්බර් අවසන්වීමට නියමිතයි. ඊළඟට ගන්නා පියවර කුමක්ද?
ඒක ක්‍රමානුකූලව හා ක්‍රමෝපාය අනුව ගන්න ඕන තීන්දුවක්. එක එක්කෙනා කිව්වට තීන්දු ගන්න බැහැ. ශ්‍රී ලනිපය ආරක්ෂා වෙන්න ඕන. අපේ ශක්තිය ගම් ඇතුළෙ තිබුණෙ නැත්නම් ශ්‍රී ලනිපයට අත්වන ඉරණම මොකක්ද කියල අපි දන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්න කටයුතු කරන මන්ත්‍රිවරුන්ට එරෙහිව පියවර ගන්නවාද?
මෙතෙක් කළේ නැහැ. ජනාධිපතිතුමා බොහෝම ඉවසීමෙන් සිටියා. ඒත් වෙනත් පක්ෂ හදන්න කිව්වේ නැහැ.
ඒත් ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන්ගේ ආසන සංවිධායකධුර අහිමි කරද්දී ඔවුන්ගේ සහාය ශ්‍රී ලනිපයට ගත හැකිද?
ඔය කියන අය ශ්‍රී ලනිප ශාඛා සමිති හැදුවෙ නැහැ. එහෙම වුණාම අපටත් ශ්‍රී ලනිපයට වැඩ කරන සංවිධායකවරු අවශ්‍යයි. ඒ අයට තිබුණේ එජාපයෙන් මං ගියා වගේ ශ්‍රී ලනිපයෙන් ඉවත්වී වෙනම කටයුතු කිරීමයි. එදා ඔය කියන පොහොට්ටුවට විමල්, ගම්මන්පිල, දිනේෂ් ඇතුළු පිරිසක් ගියෙත් නැහැ. ඔළමොට්ටලකම් කරන දෙන්නෙක් නිසා තමයි පොහොට්ටුව බිහි කරලා පක්ෂය කඩන්න කටයුතු කළේ. ඔවුන් මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ නොවෙයි. අනාගතයේ රජවෙන්න ඉන්න අය තමයි එහෙම කරන්නෙ. අවුරුදු 20ක් විතර ශ්‍රී ලනිප විපක්ෂයේ තබල අවුරුදු 40ක් විතර වුණාම රජ වෙන්න තමයි ඔවුන්ට අවශ්‍ය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරණයට ඉල්ලන අවම වයස 35 වීමත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon