අලි ඝාතනවලට එරෙහිව සජිත් අවි ඔසවයි

  👤  3326 readers have read this article !
By mawbima 2017-12-07

උපතිස්ස පෙරේරා

ඇත් දළ හා ගජමුතු ලබා ගැනීම සඳහා පසුගියදා අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතන සිද්ධියට අධිකරණයේ වරදකරුවන් බවට පත්වන අයට මරණ දඬුවම පැනවිය හැකි ආකාරයට වනජීවී පනත කඩිනමින් සංශෝධනය කළ යුතු යැයි අවධාරණය කරන නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තමන් ඒ පිළිබඳ විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවධානය යොමු කළ බවද ප්‍රකාශ කරයි.

එමෙන්ම දඩයම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාවේ ඇත් පරපුර ආරක්ෂා කරගැනීම සඳහා ජාතික වනෝද්‍යාන ආශි්‍රතව කොමාන්ඩෝ බළකායක් ස්ථාපිත කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍ය ප්‍රේමදාස මහතා අවම වශයෙන් දෙවසරකට වතාවක් හෝ විධිමත් ලෙස අලි ඇතුන්ගේ සංගණනයක් වියළි කාලයේදී පැවැත්වීමට පියවර ගත යුතු බවත් සඳහන් කරයි. පසුගිය වසර 10-12ක පමණ කාල සීමාව තුළ විශාල වියදමක් දරා වර්ෂා කාලයේදී අලි ඇතුන්ගේ සංගණන පැවැත්වුවද එමඟින් නිවැරැදි දත්ත හා සංඛ්‍යා ලේඛන ලබාගැනීමට නොහැකි වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙරට සිටින ඇතුන් සංඛ්‍යාව 50ක් බවත් තවත් තැනෙක 150ක් බවටත් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සාවද්‍ය බවත් ප්‍රකාශ කරයි.
බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (06දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා දළ පූට්ටුවා වනයේ සිටි උසම ඇතා බවට ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබුණත් එය වැරැදි බවත් ඊට වඩා උස ඇතුන් වනයේ සිටින බව තම අත්දැකීමෙන් ප්‍රකාශ කරන බවත් පැවැසුවේය.

දළ පූට්ටුවා තම නෙත ගැටුණේ මීට වසර 23කට පමණ පෙර එවකට ජාතික වනෝද්‍යානයක් නොවූ කලාවැව ආශි්‍රතව සිටි අලි ඇතුන් 200ක් පමණ සිටි රංචුවේ බවත් තරුණ වියේ සිටි දළ පූට්ටුවාව එම රංචුවේ සිටින ඇතින්නියක් සමඟ එක්වීම වැළැක්වීම සඳහා රංචුවේ නායිකාව වන මහ ඇතින්නිය විසින් සම්ප්‍රදායානුකූලව උෟ රංචුවෙන් බැහැර කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අඩි 10-15ත් අතර දුරක සිට ගන්නා ලද දළ පූට්ටුවාගේ පමණක් නොව සෝමාවතියේ සිට කවුඩුලුවැවට එන ථෙරපුත්ථාභය, ධාතුසේන, කාශ්‍යප, භද්‍රපාල, කොබ්බෑකඩුව ඇතුළු විවිධ වනෝද්‍යානවල වෙසෙන ඇතුන්ගේ ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක එකතුවක් තමන් වෙත ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ගල්ගමුවේ ජනතාව සියයට 99.99ක්ම ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් උෟ රැකබලාගත් බවත්, උෟට කිහිප අවස්ථාවක වෙඩි වැදුණත් වනජීවියේ වෛද්‍ය තාරක ඇතුළු වෛද්‍යවරුන් එක්වී සුවපත් කළ බවත් කී අමාත්‍ය ප්‍රේමදාස දළ පූට්ටුවාගේ ඝාතනය ගැන උනන්දු වූ මාධ්‍ය ධාතුසේන, කාශ්‍යප, භද්‍රපාල, විල්පත්තුවේ ඇතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීම කනගාටුවට කරුණක් බවද ප්‍රකාශ කළේය.

ලොව අලි ඇතුන් වර්ග දෙකක් වන්නේ ආසියානු අලියා සහ අප්‍රිකානු අලියා බවත්, අප්‍රිකාවේ ගැහැනු පිරිමි අලින්ට දළ තිබුණත් ආසියානු අලියාගේ හොඬයේ ඇඟිලි 2ක් ඇතත් අප්‍රිකානු අලියාට ඇත්තේ එක් ඇඟිල්ලක් පමණක් බවත්, ආසියානු අලින්ගෙන් දළ එන්නේ පිරිමි සතුන්ට පමණක් බවත් හෙතෙම සඳහන් කළේය. ඉන්දියානු අලින්ගෙන් සියයට 90කට පමණ දළ එනමුත් ශ්‍රී ලංකා අලින්ගෙන් දළ එන්නේ සියයට 6-7ක් තරම් සීමිත ප්‍රමාණයක් වීම ශ්‍රී ලංකා ඇතුන්ගේ සුවිශේෂී කරුණක් බවද හෙතෙම පැවැසුවේය.
වනජීවී දෙපාර්තමේන්තුව සතු පිරිස් බලය හා සම්පත්, සීමිත බවත් පරිසරයට ආදරය කරන ඇමැතිවරයකු ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අලි ඇතුන් ඇතුළු වනජීවීන් ආරක්ෂා කිරීමට උපරිම කැපවීමක් කරන බවත් සඳහන් කළ අමාත්‍ය ප්‍රේමදාස, අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ඇත් දළ තොගයක් ගෙන ආ විට ඒවා ප්‍රසිද්ධියේ ගෝල්ෆේස් පිටියේ තබා ඩෝසර් යොදා විනාශ කිරීමට ගත් එඩිතර පියවර පිළිබඳවද සිහිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon