මහින්ද කියන්නේ දැන් දිනන අශ්වයෙක් නෙවෙයි

  👤  3473 readers have read this article !
By mawbima 2017-12-07

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුවෙන් තරග වදින අපේක්ෂකයන් බහුතරයකට විවිධ අල්ලස්, දූෂණ, අක්‍රමිකතා මෙන්ම ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔවුන්ට ඡන්දය ලබාදීමේදී ජනතාව දෙවරක් සිතා බැලිය යුතු යැයි වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී හෙතෙම මෙසේද පැවැසීය.

අපි දැක්කා පසුගිය දවසක බදුල්ල දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම. බදුල්ලේ සිටිය සෙනඟ ඔබ දකින්න ඇතිනෙ. මහින්ද රාජපක්ෂව මේ රටේ ජනතාව අවස්ථා දෙකකදීම පරාජයට පත් කළා. තවදුරටත් මහින්ද රාජපක්ෂ කියන්නේ දිනන අශ්වයෙක් නෙවෙයි.
2015 ජනවාරි මාසයේදී ජනතාව ඔහුව පරාජයට පත් කළා. අගෝස්තු මාසයේදී නැවතත් පරාජයට පත් කළා. එතකොට මේ තුන්වැනි අවස්ථාව තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වීමට නියමිත.

රාජපක්ෂ දෝලාව කරගෙන යම් ආවතේව පිරිසක් හැම රැස්වීමකටම යනවා. අප්පච්චි තව මේ විදියේ රැස්වීම් තිබ්බොත් පොහොට්ටුව සෙත්තපෝච්චි තමයි. රැස්වීමේදී මහින්ද කා එක්කවත් ඩීල් නැහැ කිව්වා. නමුත් ඇත්තටම මහින්ද රාජපක්ෂට ඩීල් නොතිබ්බා නම් අප්පච්චියි, බාප්පොච්චියි ඇඹේණියොයි සියලුදෙනා ඉන්න ඕනේ හිර ගෙදර. ඒ නිසා තමයි අපි කියන්නේ ඩීල් තියෙනවා කියලා. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. මහින්ද රාජපක්ෂ ඩීල් පප්පෙක්. ඔහු තමයි ලංකාවේ තියෙන සියලු පක්ෂ කැඩුවේ. කඩන්න බැරිව බොහොම අමාරුවෙන් තිබුණු ජවිපෙත් දෙපාරක් කැඩුවා. අනෙක් සියලු වාමාංශික පක්ෂ කැඩුවා. අන්තිමට තමන්ගේ ශ්‍රීලනිපයත් විනාශ කළා. මේවා තමයි ඩීල් කියන්නේ.
ඒ වගේම රාජපක්ෂ නම් ගෑවී තිබෙන සියලුම නඩු සම්බන්ධයෙන් රජය අධිකරණ කටයුතු වහාම සිදු කළ යුතුයි. මේක තමයි රටේ ජනතාවගේ අපේක්ෂාව.

එදා ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් ඇමැති ධුරයක් දැරූ තිස්ස විතාරණ මහත්තයාට අද කෑ ගහන්න තියෙන හයිය එදා තිබුණා නම් මහින්ද රාජපක්ෂව නිවැරැදි කරගන්න තිබුණා. අධිරාජ්‍ය විරෝධී බව වාම දේශපාලනය තුළ අපිත් කරනවා. මේ ආණ්ඩුව තුළත්. හැබැයි අධිරාජ්‍යවාදය පරාජය කරන්න රජ පවුලක් කර ගහල හරි යනවද? තිස්ස විතාරණලට සිහියක් නැද්ද. දෝලාව කර ගහල හරියනවද?

රටක් විදියට අපි ඉතාම අශීලාචාර සිදුවීම් ගණනාවක් දැක්කා. දළ ඇතා මරා දැමීම අපි හෙළා දකිනවා. මාධ්‍ය සහෝදරයන්ට ස්තුති වෙනවා දිගින් දිගටම දේශපාලනඥයන් නොදකින පරිසරය, සතා සිවුපාවා සම්බන්ධයෙන් කරන අනාවරණයන්ට. පසුගිය රාජපක්ෂ සමය නිර්මාණය කරපු අශීලාචාර සමාජ ක්‍රමය දැන් එළිපිට ගමන් කරල තියෙනවා. කවුද කියන එක ප්‍රශ්නයක් නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ යුක්තිය ඉටුවීමයි. මේක බෞද්ධ සමාජයටත් කරන අගෞරවයක්.


පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon