බටපොළදී ‘ටයි රාජුට’ වෙඩි තැබූ සැකකරුවෝ් දෙදෙනෙක් අත්අඩංගුවට

  👤  3378 readers have read this article !
By mawbima 2017-12-07

බටපොළ-රත්න පින්නදුව

බටපොළදී ටයි රාජුට වෙඩි තැබූ සිද්ධියේ සැකකටයුතු දෙදෙනෙක් සමඟ යතුරුපැදි දෙකක් ටී.56 ගිනිඅවියක්, මැගසින් එකක්, උණ්ඩ 06ක් හා ජංගම දුරකතන හයක් සමඟ බටපොළ පොලිසිය මඟින් ඊයේ (06දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඔක්තෝබර් 31 වැනි දින රාත්‍රි 7.20ට පමණ බටපොළදී ටයි රාජු හෙවත් අසංක මනෝජ් රාජ් සිල්වා (40), හිමක් රන්දුණුද සොයිසා (3), සුසිරි සුභාෂිතද සොයිසා (13), මෙහේනි ලිහංසාද සොයිසා (7), සෙම්බකුට්ටි කංකානම්ගේ දුෂාන්ත (48) යන අය බටපොළදී වෙඩි තැබීමට ලක් විණි. සියලු දෙනා තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලදී. ඔවුන් නිවෙසේ සිට බටපොළ දෙසට යන විට පිටුපසින් යතුරුපැදියකින් පැමිණි කිසිවකු රියැදුරාට වෙඩි තැබූ අතර නැවත ඉදිරිපසින් යතුරුපැදිය හරවා වෙඩි තබා පලාගොස් ඇත.

කොස්ගොඩදී මහින්ද රාජාට තාරක වෙඩි තැබූ අතර එහි පළිය ගනිමින් තාරකගේ මාමා කෙනකු වන ටයි රාජුට වාහනයේ ගමන් කරමින් සිටියදී වෙඩි තැබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. පසුව බුද්ධි අංශ තොරතුරු මත දුරකතන විශ්ලේෂණ පදනම් කරගෙන වැටලීම් කරන ලදී. එහිදී එක් අයකු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ප්‍රකාශ අනුව ඔක්තෝබර් 10 වැනි දින තෙල්වත්තේදී ගුවන් හමුදාවේ ලසන්ත මෙන්ඩිස්ට වෙඩි තැබූ අයකු බව හඳුනාගෙන ඇත. අංක තහඩු රහිත යතුරුපැදියක් මැටිවල ප්‍රදේශයේදී ගමන් කිරීමේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඔහුගේ නිවෙස පරීක්ෂා කරද්දී ඩිමෝ වර්ගයේ ස්කූටරයේ ෂීට් එක යට පෙට්ටියේ ගිනි අවිය තිබී සොයාගෙන ඇත. මෙම යතුරුපැදිය අපරාධ වැඩවලට පමණක් භාවිත කර ගේ ඇතුළේ සඟවා තබන බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගෙන ඇත. ඔහුගේ ගමන් පහසුව සඳහා අංක තහඩු රහිත අනෙක් යතුරුපැදිය භාවිත කර ඇත. බටපොළ පොලිස් ස්ථානාධිපති එස්.ඒ.යූ. ද සිල්වා, පො.ප. ප්‍රසන්න ඇල්ගිරිය, උ.පො.ප. ජනක සම්පත්, උ.පො.ප. කරුණාරත්න, උ.පො.ප. ඩී. බාලේන්ද්‍රන් සිල්වා, උ.පො.ප. ජයසූරිය, රංජිත් (58954), සාමින්ද ප්‍රියංකර (59082), කුමාර (44741), තරංග (72995), කුමාර (69713) යන මහතුන් වැටලීම් සිදුකර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon