යහපාලනයෙ සංහිඳියාවට වඩා මහින්දගේ ආණ්ඩුවේ සංහිඳියාව හොඳයි

  👤  3412 readers have read this article !
By mawbima 2017-12-07

මේ ආණ්ඩුව සංහිඳියාව දකින ආකාරයට වෙනස් හා ප්‍රායෝගික ආකාරයකට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සංහිඳියාව දුටු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා ගාල්ලේ පැවැති 'එළිය' වැඩසටහන හා එක්වෙමිනි.
මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවැසීය. අපි එළිය වැඩසටහන ආරම්භ කළේ යෝජිත ව්‍යවස්ථාව පරාජය කළ යුත්තේ ඇයිද යන්න ජනතාව දැනුවත් කිරීමටයි. සංහිඳියාව කියන එක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැක්කෙ වෙනත් විදියකට. අපි දැක්කා බලය බෙදීමක් තුළින් සංහිඳියාවක් නැති බව. හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාව රටවල් තුනකට වෙන්වුණා. නමුත් තවමත් ඉන්දියා- පාකිස්තාන් දේශසීමාවේ යුද්ධයක් පවතිනවා බලය බෙදීමක් නැතිව. ඒ ප්‍රදේශවල ජනතාවට පහසුකම් ලබාදීම හා ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දීම තමයි අපි කළ සංහිඳියා ක්‍රමය.

මේ පළාත්වල ජීවත්වන පුද්ගලයන්ට අධ්‍යාපනය ලබන්නට විශ්වවිද්‍යාලයට යන්නට, උගත්කම අනුව රැකියාවක් ලබන්නට, ව්‍යාපාරයක් කරන්නට හැකියාවක් තියෙනවා. නමුත් අවුරුදු 30ක් තුළ උතුරේ සංවර්ධනයක් තිබුණේ නෑ. ඒ තරුණයන් ළමා සොල්දාදුවන් වුණා මිසක් අධ්‍යාපනයක් ලබන්නට බැරි වුණා. ඒ තත්ත්වය නැතිකරන්නට අපි යුද්ධය අවසන් වුණු දිනයේ සිට ක්‍රියා කළා. යුද්ධයේ අවසන් කාලයේ 13,000ක් අපිට භාරවුණා. අවුරුදු 02ක් ඇතුළත පුනරුත්ථාපනය කළා. එයින් කාන්තාවන් විශාල පිරිසක් හමුදාවටත් ගත්තා. අපි ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලුවා උතුරට, නැඟෙනහිරට යන්න කියලා. ඒ අය ගියා. අවුරුදු දෙකහමාරකදී මේ පළාතේ තිබූ බිම් බෝම්බ ඉවත් කළා.
ලක්ෂ 03ක් වූ අවතැන් ජනතාව නැවත පදිංචි කළා. යාපනය අර්ධද්වීපයේ තිබූ ඉඩම් 90%ක් නැවත ජනතාවට 2014 අවසන් වන විට ලබා දී තිබුණා. අද යාපනයට යෑමට මහාමාර්ග, දුම්රිය මාර්ග, පානීය ජලය, විදුලිය ආදී සියල්ල ලබා දුන්නේ අපේ ආණ්ඩුව යටතේ. අපි බලාපොරොත්තු වූ සංහිඳියාව එයයි. මේවා ගැන බෙදුම්වාදී බලවේග කතා කරන්නේ නෑ.

එදා යුද්ධය අවධියේ ප්‍රභාකරන්ට අවශ්‍ය මුදල් එකතු කරලා, අවි ආයුධ ලබා දුන්න සහ විවිධ ජාත්‍යන්තර රාජ්‍යයන්ට බොරු තොරතුරු ලබාදුන් දෙමළ ඩයස්පෝරාවේ අය තමයි අද නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි කියන්නේ. එදා ඔවුන්ට උපකාර කරපු විවිධ විදේශීය බලවේග තමයි නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි කියන්නේ. එදා බැහැයි කියපු ත්‍රස්තවාදය අවසන් කරන්න අපිට පුළුවන් වුණා. අපි යුද ජයග්‍රහණයෙන් නොනැවතුණු අපි උතුර - නැඟෙනහිර සංවර්ධනය කළා. යුද්ධයෙන් පසු අපි ඒ ප්‍රදේශවල යුද්ධය යළි සිහිවන පෝස්ටරයක්වත් අලවන්න දුන්නේ නෑ. ඇයි යුද්ධය ගැන දන්නේ නැති අය යුද්ධය දැනගන්න අවශ්‍ය නැති නිසා. ඒ තුළින් මහ විපතක් වන්නට පුළුවන් බව අප දැන සිටියා. එමෙන්ම අපි උතුරු පළාතට ඡන්ද අයිතිය ලබාදුන්නා. එයයි අපි ලබාදුන් සංහිඳියාව.

සමහරු එළිය ජාතිවාදී සංවිධානයක් ලෙස හංවඩු ගහනවා. ඒහි බලාපොරොත්තුව සියලු ජනයාට ගෞරවනීය ලෙස ජීවත්වීමට හැකි රටක් ගොඩනැඟීමයි. තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය ශ්‍රී ලනිප ඇමැතිවරුන්ව මේ ව්‍යවස්ථාවට සහාය දැක්වීමෙන් වැළැක්විය යුතුයි. මෙය ජනමත විචාරණයට ආවොත් අපි දිනුවත් පරාදයි. පැරදුණත් පරාදයි. ඔවුන්ට අවශ්‍ය උතුරේ අය බහුතරයකගෙන් මේ ජනමත විචාරණයට ඡන්දය අරගෙන එය ජාත්‍යන්තරයට පෙන්වන්න. මෙය පාර්ලිමේන්තුව තුළම පරාජය කළ යුතුයි. එය ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට සිදුකළ හැකියි.

දැනට මේ පිළිබඳව කතිකාවතක් ජනතාව අතර නැහැ. ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසාම අපි අවදියෙන් සිටිය යුතුයි. ඔබ හැම ඔබගේ නියෝජිතයන් දැනුවත් කළ යුතුයි.
ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon