එක් වෙයිද වෙන් වෙයිද?

  👤  4586 readers have read this article !
By mawbima 2017-12-10

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය වන මේ මස 14 වැනිදා දක්වා තීරණාත්මක දේශපාලන සාකච්ඡා රැසක් මේ වනවිටත් සිදුකරමින් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා ඉතා රහසිගතව තවදුරටත් පැවැත්වෙන අතර එක් කොන්දේසියක් හැරෙන්නට අනෙක් සියලුම කොන්දේසිවලට එකඟ වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී තිබේ.
ආණ්ඩුවෙන් ඉවත්වීම හැර අනෙකුත් කොන්දේසිවලට එකඟවන බවත් පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම්ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් එකඟතාව ලැබී තිබෙන බවදත් වාර්තා වේ.

එසේ එකඟතාවකට පැමිණියහොත් "පුටුව" ලාංඡනය යටතේ පොදුජන එක්සත් පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට හැකි බවත් අපේක්ෂකයන්ගෙන් 50%කට වඩා බහුතරයක් ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇති බවත් වාර්තා වේ. මීට අමතරව පොදුජන එක්සත් පෙරමුණේ සභාපති ධුරය සම්බන්ධයෙන්ද යම් නම්‍යශීලීත්වයක් ඇති කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබෙන බවද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන මේ කරුණුවලට ඒකාබද්ධ විපක්ෂයෙන් තාමත් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. එහෙත් එම සාකච්ඡා තවදුරටත් සිදුකරන බව වාර්තා වෙයි.
මීට අමතරව පසුගිය දිනවල ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් සහ පසුගිය දිනවල ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් අතරද රහසිගත සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

මේ අතර නාමයෝජනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පැනනැඟී ඇති අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමටද ස්ථාන කිහිපයකම සාකච්ඡා පැවැත්වමින් පවතී.
පාර්ලිමේන්තු සංකීර්ණයේ, නෙලුම් මාවත කාර්යාලයේ සහ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මෙම සාකච්ඡා සිදුකෙරේ. මෙහි තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රි 8.00 පමණ වනතුරු පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉතා රහසිගතව සිදුකර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂ කීපයක් සමඟ ඒකාබද්ධව පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින් තරග කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ සාකච්ඡාවකදී තීරණය කොට ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව එම පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තු නාමයෝජනා ලෙස ඉදිරිපත් කිරීමට බලය ලත් නිලධාරීන්ද පෙරේදා වනවිට පත්කොට ඇති බවද මේ සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලනිපයේ මුල් පෙළ නායකයෙක් "ඉරිදා මව්බිම"ට පැවැසීය.

මීට අදාළව මෛත්‍රි-මහින්ද විශේෂ හමුවක් සිකුරාදා රාත්‍රි පැවැත්වීම නියමිතව තිබුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැන ගනීමට ලැබුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon