දිනේෂ් මහින්දට විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි

  👤  3782 readers have read this article !
By mawbima 2017-12-10

දයා පෙරේරා, ජේ. ටී. ද සිල්වා

• ඉදිරි සති ගණනාව තුළ පළාත් පාලන ඡන්ද රැස්වීම්වලට සහභාගි වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත විශේෂිත ආරක්‍ෂාවක් ලබාදෙන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළේය.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පවත්වන රැස්වීම්වලට හිටපු ජනාධිපතිවරයා සහභාගි වන බවත් ඔහුගේ ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිගනිමින් අදාළ නිලධාරීන්, භටයන්, වාහන හා ගමනාගමනයට අවශ්‍ය පහසුකම් සපයා දැනට පවතින ආරක්‍ෂක අඩුපාඩු සම්පූර්ණ කර විශේෂිත ආරක්‍ෂාවක් ලබා දෙන්නේ දැයි දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් අගමැතිවරයාගෙන් විමසුවේය. ස්ථාවර නියෝග 23 (2) යටතේ විශේෂ ප්‍රකාශයක් කළ දිනේෂ් ගුණවර්ධන රජීව් ගාන්ධි ඝාතනයේදී ආරක්‍ෂක අංශ අඩු කිරීම ගැන නීනා ගෝපාල් රචනා කරන ලද ග්‍රන්ථයක සඳහන්ව තිබූ බව උදාහරණයක් වශයෙන් ගෙනහැර දක්වන බවද දිනේෂ් ගුණවර්ධන එහිදී කීවේය. මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු

ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව වැඩිකර දෙන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී සිකුරාදා (08දා) ප්‍රකාශ කළේය.

හිටපු ජනධිපතිවරයාගේ ආරක්‍ෂාව වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර නැති බවද අගමැතිවරයා කීවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් 154 දෙනකුගෙන් යුතු පිරිසක් හා වාහන ලබාදී ඇතැයිද අගමැතිවරයා කීය.

හිටපු ජනාධිපතිවරයාට පවතින ආරක්‍ෂක තර්ජනවල ස්වභාවය අනුව සිදුකරනු ලබන ආරක්‍ෂක තක්සේරු හා බුද්ධි අංශ වාර්තා අනුව ආරක්‍ෂාව සපයා දෙන බවද පැවැසූ අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ආරක්‍ෂක නිලධාරීන් වැඩි පිරිසක් ලබාදී ඇත්තේ ඔහුට ඇති ආරක්‍ෂක තර්ජන සලකා බලා බවද කීවේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ලබාදී ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් 61 දෙනකු පමණක් බවත් අගමැතිවරයා කීය. බුද්ධි අංශ වාර්තා අනුව තර්ජන ඇති බව තහවුරු වුවහොත් ආරක්‍ෂාව වැඩි කිරීමට ක්‍රියා කරන්නේ යැයිද අගමැතිවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon