ගෝඨා

  👤  4197 readers have read this article !
By mawbima 2017-12-10

'ගෝඨාභයව මොනවා හරි චෝදනාවක් දාලා හිරේ දැම්මොත් මහින්දලා හෙල්ලිලා යනවා. කාගෙන, නැඟිටගෙන එන වේගය අඩු වෙනවා. මේ වෙලාව තමයි නියම වෙලාව.'
යහපාලනයේ ඉහළම නායක කාරකාදීන්ට එහෙව් උපදෙස් එක පිට එක ලැබෙන්නට පටන් ගත්තේ ටික දවසක ඉඳන්ය. වැඩේ සූදානම් කෙරෙමින් පවතින බව දැනගන්නට ලැබුණේ 'යහපාලන පොලිසිය' ඊට පිඹුරුපත් සකස් කරමින්, හොරගල් අහුලමින් සිටි නිසාය.

'ගෝඨා අත්අඩංගුවට ගන්න එක ඒ හැටි හොඳ වෙන්නෙ නෑ. මේ ගැන ටිකක් හිතලා බැලුවොත් නරකද?' කියලා යූඑන්පීයේම මධ්‍යස්ථ මැති ඇමැතිවරුන් දැනෙන්න එහෙම තැන තැන කතා කළේ... එහෙම දෙයක් වුණොත් ඒකෙ වාසියකට වඩා මුළු යහපාලන ආණ්ඩුවටම බරපතළ චෝදනාවක් එල්ල වන නිසාය.
කෙසේ වෙතත් යූඑන්පීකාරයන් අතරත් තදබල විරෝධතාවක් නැති ගෝඨා ඇල්ලීමත්, හිරේට දැමීමත් හොඳ වැඩක් නොවන බව පෙනෙන්නට තිබුණු නිසාම 'ගෝඨා අල්ලා හිරේ දැමීමේ දේශපාලනමය ක්‍රියාන්විතය' ඇරැඹූ තැනම දෙදරීමකට ලක්ව තිබුණේය.

තත්ත්වය සිහිනුවණින් අවබෝධ කරගත් මහින්ද පාර්ශ්වය ගෝඨා රැක ගැනීමේ ක්‍රියාන්විතය ඉවසීමෙන් හා සිහිනුවණින් ජයගන්නට තීරණය කිරීම ප්‍රශස්ථ කරුණක් විය.
'ගෝඨාව මේ මොහොතේ අල්ලන්නෙ ඇයි? හිරේ දාන්න දඟලන්නෙ ඇයි?' රට තොට කවුරු කවුරුත් කතා කරන්නට පටන් ගත්තේ වෙන කවර අවස්ථාවකටත් වඩා මෙය 'අසාධාරණ දේශපාලන පළිගැනීමක්' ලෙස නිර්පාක්ෂිකව සිතන කාට කාටත් තේරුම් ගොස් තිබුණු බැවිනි.

ජනමතය එසේ පෙළ ගැසෙමින් තිබියදී ගෝඨාට එරෙහිව සතුරු බලවේගයන් ගොඩනැඟෙන්නට හේතුවන කරුණු කාරණා පෙළ ගැසුණේ කෙසේද යන්න ගෙනහැර පෑ යුතුය. වැඩි අෑතක නොවේ පසුගිය කාලයේ පටන් ගෝඨා කළ කතාවල හරයක් තිබුණේය. එය දේශපාලන ඉව දන්නා එහි තෙම්පරාදු වූවන්ට වටහා ගැනීම අපහසු නැත.
මේ ගෝඨාගේ හඬ නැඟීම පසුගිය කාලයේ තැනින් තැන පෙළ ගැසුණු අයුරුය.

'තිබෙන තර්ජනය ගැන යම් කෙනකුට අවබෝධයක් නැත්නම් ඒක විශාල ප්‍රශ්නයක්. රටක නායකයන්ට රටේ ආරක්ෂාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. යුද්ධයෙන් පසු වසර 5ක් පමණ මම ආරක්ෂක ලේකම් විදියට හිටියා. ඒ කාලෙදී උතුර සහ නැඟෙනහිර ත්‍රස්තවාදී තත්ත්වය නැවත මතු නොවන ආකාරයට වැඩ කළා. එසේ මතු වෙනවා නම් ඒ ගැන විශේෂ දැනුවත් කිරීමකටත් සුවිශේෂ ක්‍රමවේද යොදා තිබුණා. එය සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ආකාරයට නොවේ ක්‍රියාත්මක වුණේ. කාටත් නොදැනෙන විදියටයි. අපි එහෙම කළ නිසා තමයි අද ඉන්න නායකයන්ට උතුරට ගිහින් කතා කරන්න පවා අවස්ථාව ලැබුණෙ.'

(2017 ජුනි 5)
ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතළ සැකසංකා මතුවෙමින් තිබියදී ගෝඨා එසේ අදහස් ප්‍රකාශ කිරීම යහපාලන ආණ්ඩුව කරවන අයට වැරෙන් අතුල් පහරක් දුන්නා වැනිය. එය සමාජයට ප්‍රබලව දැනෙන, දැනුණු පණිවුඩයක් දුන්නාක් වැනිය.

එසේම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෝඨා ගත් තද තීරණ නිසා සිවිල් ජන ජීවිතය යථා තත්ත්වයට පත්වූ අයුරු ජනතාවට දැනුණේය. ගෝඨා එය නිවැරැදිව ජනගත කළේය.
'ත්‍රස්තවාදය පරාජය කිරීමේ අරමුණෙන්, අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් යම් නිලධාරියෙක් කටයුතු කරනවා නම් ඒක නීතිය හා එකඟයි කියලයි මම හිතන්නේ. සමහර අවස්ථාවල අපි නීතියට පිටින් ගියා කියලා කියනවානේ. ත්‍රස්තවාදය නැති කිරීමේ යහපත් අරමුණ ඇතිව යම්කිසි ක්‍රියාවක් සිදු කළා නම් ඒ ක්‍රියාවන් වැරැදියි කියලා පහු කාලෙක ඒ ඒ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා නම්, දඬුවම් කරන්න යනවා නම් ඒක වැරැදියි. ඒක සම්පූර්ණයෙන්ම දේශද්‍රෝහී ක්‍රියාවක්. ඒ නිලධාරීන් එහෙම නොකළා නම් මේ රට මේ තත්ත්වයේ තියේවිද? ඒ නිලධාරීන් ඒ කරපු සෑම දේකටම ආරක්ෂක ලේකම්වරයා හැටියට මම වගකියනවා.'

(2017-05-28)
යුද්ධයේ බිහිසුණු බවත්, කුරිරු බවත් අත්විඳි ජනතාවට මෙම ක්‍රියාන්විතයන් නිසා ලැබුණු නිදහස කොතෙක් දැයි කියන්න බැරි තරම්ය. ගෝඨාගේ එම කතා ජනතාව පිළිගන්නේ පක්ෂයක්, පාටක්, ජාතියක්, ආගමක් හැටියට වෙන් වෙන් වශයෙන් නොවේ. පොදු මහජනතාව හැටියටය. එය යහපාලකයන්ට හිසරදයක් වූ බව නොරහසකි. එසේම 'වියත් මඟ' සංවිධානය හදාගෙන ගෝඨා රට වටා යන එකද ඇතැමුන්ට ඇල්ලුවේ නැත.

වෘත්තීයවේදීන් එකතු කරගෙන නාගරික සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගෙන ගිය ගෝඨා 'වියත් මඟ' තුළින් මෙසේද කීවේය.
'හැම ක්‍ෂේත්‍රයකම වියතුන් සම්බන්ධ කරගෙන අපි ගමනක් යන්නයි යන්නේ. මේ රටේ පාලනයට වෘත්තීයවේදීන් අවශ්‍යයි. රටේ පාලනයට වෘත්තීයවේදීන් නිසි අයුරින් සම්බන්ධ කර නොගත්තොත් දේශපාලන තීන්දු තීරණ හැරිහැටි ක්‍රියාත්මක කරගන්න වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට එදා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ බොහෝ දුරට වෘත්තීයවේදීන් නියෝජනය වුණා. මහාමාර්ග අමාත්‍යාංශය ගත්තත් එහෙමයි. ඒකේ ඉන්ජිනේරුවන්ටත් ලොකු තැනක් දීලයි තිබුණේ. වරායවල් හදද්දීත් එහෙමයි. ඒ නිසා එදා අපිට සෑහෙන ඉදිරි ගමනක් යන්න පුළුවන් වුණා.'

ගෝඨා වැඩට බැස්සොත් හරිහැටි වැඩේ වෙනවා යන ජන මතය මේ නිසා දිනෙන් දින එදා ගොඩනැඟුණේය. මෙසේ කියද්දී එදා නාගරික සංවර්ධනයේ ඓතිහාසික පරිවර්තනයේ මතකයන් දැනුදු පෙනි පෙනී මේ මතය අනුමත කෙරුණේය. ඒ නිසා ගෝඨා පිළිබඳ විශ්වාසය පලුදු කිරීම විරුද්ධ පාර්ශ්වයේ අයට අසීරු කරුණක් විය.

'ත්‍රස්තවාදය කිසිම අවස්ථාවක පරාජය කරලා මේ රටට සාමය උදාකරගන්න බැහැ කියලා මතයක් ගෙන ආපු කොටස් තමයි අද මේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට මූලික වී තිබෙන්නේ. එල්ටීටීඊ ඩයස්පෝරාව වගේම දේශීය හා විදේශීයව එදා පැවැති රජයට බලපෑම් කළ අය තමයි මේ ව්‍යවස්ථාව ගෙන ඒමට මූලික වුණේ. මේ නව ව්‍යවස්ථාව ගෙන එන්න සූදානම් වන්නේ බෙදුම්වාදීන්ට ඕනෑ විදියට මිසක් සාමාන්‍ය ජනතාවට ඕනෑ විදියට නෙවෙයි. නීති හැදීමේ බලය තිබිය යුත්තේ පාර්ලිමේන්තුවට පමණයි. එය පාර්ලිමේන්තුවෙන් අරගෙන පළාත් සභාවලට දිය යුතු නෑ. ඉඩම් අයිතිය පළාත් සභාවලට දුන්නොත් ඒ ඒ පළාත්වල අයට ඕනෑ ඕනෑ පුද්ගලයන්ට ඒ ඒ ඉඩම් බෙදා දීමක් සිදුවෙනවා වගේ 'ඒකීය' භාවයත් නැති වෙනවා.'

(2017 නොවැම්බර් මහනුවර 'එළිය' විද්වත් සමුළුවේදී.)
ගෝඨාගේ මේ කතා අහද්දී වඩාත් වෛර බැඳගත්තේ දෙමළ ඩයස්පෝරාවය. ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ සක්‍රිය දායකත්වය ප්‍රකට බව ඔහු තරයේ කීවේය. ඒ නිසාම ගෝඨාට බිය වීම ඔවුන්ගේ පාර්ශ්වයෙන් සාධාරණය. මේ තවත් තැනක ගෝඨා කී දේය.
'මාසයක් ඇතුළත ගෝඨාභය රාජපක්ෂව හිරේට ගන්නවා කියලා ඇමැතිවරයෙක් කියලා තියෙනවා. එයින්ම පැහැදිලියි රජයට තියෙන වුවමනාව මොකක්ද කියලා. මම ජීවිතය පරදුවට තියලා යුද්ධය මෙහෙය වූ බවත් යුද්ධය අවසන් කරපු නිසා ලැබුණු දේ මේකද කියලත් අහන්න වෙනවා.'

(2017 ජූලි 7 ගැටඹේ රාජෝපවනාරාමයේදී)
එබැවින් ගෝඨා වට කරන්නත්, කොටු කරන්නත් හදන බලවේග ගැන ජනතාව දැන් දැනුවත්ය. දෙමළ ජනතාවට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඇතැමුන් අමතක කර දමා කටයුතු කරද්දී ගෝඨා එයද යළි සිහිපත් කර දුන්නේ පසුගියදාය.

'උතුරේ හා නැඟෙනහිර දෙමළ ජනතාවට ත්‍රස්තවාදීන් විසින් අහිමි කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඔවුන්ට හිමිකර දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි. ත්‍රස්තවාදීන් පරාජය කළාට පස්සේ ඔවුන්ට අහිමි වී තිබුණු ඡන්ද බලය යළිත් ඇති කර දී ඔවුන්ගේම පාලනයක් ඇති කර ගැනීමට අවශ්‍ය දේ සිදුකර සංහිඳියාව යළි ඇති කළේ මහින්ද රාජපක්ෂයි.'
(2017.11.26 අනුරාධපුරයේදී)
මහින්ද උතුරේ ජනතාවට ලබාදුන් නිදහස කුහක ලෙස ඉතිහාසයෙන් වසංගා දමන්නට හදද්දී ගෝඨා යළි එය තීරණාත්මකව ගෙනහැර පෑමද ගෝඨාට එරෙහිව විරුද්ධවාදීන් වෛර බැඳගන්නට හේතු වූවා සේ විය.

එබැවින් ලක්ෂ 3ක දෙමළ ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන තවත් ත්‍රස්තවාදීන් 12,000ක් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමද කුහක ලෙස සඟවා තැබීම සිදු කිරීම පිළිබඳව ජනතාව පක්ෂ, පාට භේදයකින් තොරව අනුමත කරන්නේ නැත.
එහෙත් බලවත් කොටි ඩයස්පෝරාවත්, නව ව්‍යවස්ථා සම්පාදනයක නිරත ඊනියා බලවේගත්, ඔවුන් සමඟ සරණ ගිය යහපාලකයනුත් වඩාත් තදින් අවධානයට ලක් කළ කතාවක් ගෝඨා අනුරාධපුරයේදී කෙළේය. එය මෙසේය.

'එළිය ජාතිවාදී බලවේගයක් කියලා කියන්න හදනවා. නමුත් මේ සංවිධානය හරහා සිදු කරන්නේ ජනතාව දැනුවත් කිරීමයි. අප මේ උත්සාහ කරන්නේ නව ව්‍යවස්ථාව ගෙන ඒම පරාජය කරන්නටයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් සම්මත කර ගැනීම අහිමි කිරීමටයි.'
එහෙව් ගෝඨාගේ කට වසා විලංගු දැමීමට කොටි ඩයස්පෝරාව වඩාත් යුහුසුලු වීම ස්වාභාවිකය. යහපාලකයන් මේ අනතුර වටහා ගන්නා බවක් පෙනෙන්නට නැත. යහපාලනය තුළද තිබෙන බල අරගලය හා බලය ලබා ගැනීම වෙනුවෙන් කරන තීව්‍ර සටනින් කවුරු ජයගත්තද ගෝඨා වැනියවුන් නඩු නිමිති මවා අසාධාරණ ලෙස සිරගත කිරීම නොකළ යුතුය. එය කිරීමෙන් වන්නේ යහපාලනය පමණක් නොව රටත් ජනතාවත් සියලු ජන බලවේගයන්ද විපතට පත් කිරීමක්ය.

මෙයින් ජනතාව කලකිරෙන්නේ පක්ෂයක්, පාටක්, ජාතියක්, ආගමක් නැතිව එකාවන්වය. ගුණමකු ක්‍රියාවකින් ලැබෙන යහපතක් නැත. සිදුවන්නේ විනාශයක්මය. එය දේශපාලනිකව, ආර්ථිකව හා සමාජමය වශයෙන් රටකට දරාගත නොහැකි ගැටලු මවන්නක්ම වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon