එදා රෑ ගුවන් තොටුපළේදී ආපහු ගියේ සිතකින් නොවේ..!

  👤  4166 readers have read this article !
By mawbima 2017-12-10

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙමින් තිබූ මොහොතක ඉන්දියාව සමඟ එක් දින තරගාවලියට සහභාගි වීමේ අරමුණෙන් පසුගිය සඳුදා (4දා) රාත්‍රියේ ඉන්දියාව බලා යෑමට පිටත්වූ ක්‍රීඩකයන් නව දෙනකුට මුහණ දෙන්නට සිදුවූ අකරතැබ්බය පිළිබඳව මේ වන විට ක්‍රිකට්වලට ඇල්මක් ඇති නැති කවුරුත් වගේ දන්නා කරුණක්. එහෙම දෙයක් සිදු වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවටයි. මීට කලින් විදෙස් සංචාරයකට පිටත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකකට ෆ්ලයිට් එකට නැඟලත් ආපසු හැරිලා එන්න සිද්ධ වෙලා නැහැ. එහෙත් එහෙම වුණා. කාගෙද වැරැද්ද? වෙච්ච වැරැද්ද භාරගන්න වගකිව යුත්තෙක් දැන් හොයා ගන්න නැහැ.
ඒක නිසාම දෝ එදා රෑ එළි දැක්වුණු ක්‍රිකට් නාටකය ගැන දැන් ගොතලා තියෙන්නේ අලුත් කතාවක් බවයි ආරංචි. අපි එහෙම කියන්නේ එදා සිද්ධ වෙච්ච දේවල් ගැන අහගන්න ඒ මොහොතේ සිටි ක්‍රීඩකයන් නව දෙනාගෙන් ප්‍රධාන ක්‍රීඩකයෙක් සම්බන්ධ කරගත් විට දුන්න පිළිතුරක් අනුවයි. මොකද වුණේ? කියන ප්‍රශ්නය ඔහුට දැම්මා. "නැහැ එදා අපිට දිනය වැරදිලානේ ගියේ. ඊට පහුවදානේ යන්න තිබුණේ" යනුවෙන් ඔහු පැවැසුවා.

එහෙත් මම ඒ පිළිතුර විහිළුවක් වගේ එකක්ද කියලා නැවත ඇහැව්වාම ඔහු නැවතත්......"නැහැ අයියේ අපිට එහෙම කියන්න කියලනේ තියෙන්නේ" යනුවෙන් සිනාසෙමින් පැවැසීය.

දැන් ඉතින් කවුරු කවුරුත් මොන විදියේ බයිලා ගැහුවත් වෙච්ච විශාල වැරැද්දෙ වගකීම ගන්න ඕන කවුද? කියලා හරි කතාව විමසා බැලුවොත් කාටත් තේරෙනවා,
තිසර පෙරේරා, අසේල ගුණරත්න, උපුල් තරංග, දුෂ්මන්ත චමීර, සචිත් පතිරණ, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක හා චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයන් 9 දෙනාගේ ලැයිස්තුවක් අනුමැතිය සඳහා එදා (4දා) සවස 5ට විතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට එවලා තිබුණාලු. ඒ ලිපියේ කොපියක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් එවලා තිබුණා. එහෙත් එක් දින තරගාවලියට යන මේ කණ්ඩායමෙන් කුසල් ජනිත් පෙරේරා කපලා කියලා ක්‍රීඩා ඇමැති දයාසිරිටත් ආරංචි වෙලා තිබුණලු. ඒ හැරෙන්නට එක් දින තරගාවලියට තෝරාගත් සංචිතය ගැන ක්‍රීඩා ඇමැතිවරයා දැනගෙන ඉඳලා නැහැ. ඒ නිසාම යන ටීම් එක මොකද්ද කියලා ඇමැති ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් විධායක අෑෂ්ලි ද සිල්වාගෙන් විමසුවා කියලයි ආරංචි. ඊට පසුව අෑෂ්ලි එස්. එම්. එස්. එකක් මඟින් යන ටීම් එක ඇමැතිට යවලා තියෙනවා. ඒක දැකපු ඇමැතිට ප්‍රශ්නාර්ථයක් මතුවෙලා තියෙන්නේ තෝරාගත් ක්‍රීඩකයන් සම්බන්ධවයි.

එහෙත් ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමට තෝරාගත් ක්‍රීඩකයන් නව දෙනකු එදාම සවස යනවා කියලා අෑෂ්ලි ඒ මොහොතේවත් ඇමැතිට කියලා නැහැලු. ඒ පණිවුඩ හුවමාරුව එහෙම වෙලා, තවත් පැය දෙක තුනකට පසුව ඇමැතිට ආරංචියක් ආවලු අන්න ටීම් එක රෑ 8ට විතර එයාර්පෝට් යන්න පිටත් වුණා කියලා.

ඒ ආරංචිය ලැබුණ විගස කේන්තියට පත්වූ ඇමැති දයාසිරි දුරකතනයෙන් ප්‍රධාන විධායක අෑෂ්ලි අමතලා "අෑෂ්ලි මේ කතාව ඇත්තද? මගෙන් අහන්නෙ නැතිව ටීම් එක යවන්න කිව්වේ කවුද?" යනුවෙන් බැන වැදී තිබෙනවා. ඒ එක්කම ක්‍රිකට් සභාපති තිලංගත් ලේකම් මොහාන් ද සිල්වාත් ඇමැතූ ක්‍රීඩා අමාත්‍යවරයා සිදුවූ දේවල් ගැන තම අසතුට හා අප්‍රසාදය පළකර තිබෙනවා. "මමත් දන්නෙ නැහැ සර්. මටත් දැන් එපා වෙලා තියෙන්නෙ" මොහාන්ගෙන් ඇමැතිට ලැබුණෙ එවන් උත්තරයක්. එපමණකින්ද නොනැවතුණ ඇමැතිවරයා එදින රාත්‍රි 9.00ට පමණ යළිත් අෑෂ්ලි අමතා "මම අනුමත නොකරපු ටීම් එකක් යවන්න එපා. වහාම ක්‍රීඩකයෝ නැවත ගෙන්වා ගන්න" කියල නියෝග කරල තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ආගමන විගමන පාලකවරයා ඇමැතූ දයාසිරි ඇමැතිවරයා ඔහුට පවසා ඇත්තේ ගුවන්ගත වීමට ආසන්න ක්‍රිකට් ක්‍රීඩකයන් 9 දෙනා නැවත හරවා එවන්නට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසයි.

එහෙම කියපු දයාසිරි ඇමැතිවරයාගේ දුරකතනයට විවේකයක් ලැබුණේ නැහැ. ඊළඟ කෝල් එක ආවේ එක් දින කණ්ඩායමේ නායකයා තිසර පෙරේරාගෙන් "සර් අපි දැන් යන්න සූදානම් වෙලා ඉන්නෙ. දෙන්නෙක් ෆ්ලයිට් එකටත් නැඟලා. අපි යන්නද" යනුවෙන් ඇසුවත් ඇමැතිගෙන් බුරුලක් ලැබුණේ නැහැ. "තිසර මේ ඔයාලා ක්‍රීඩකයොත් එක්ක මගේ ප්‍රශ්නයක් නැහැ. මේ අවනීති වැඩේ කරපු අය ගැන මම දැඩි තීරණයක් ගන්නවා. ඔයාලා කරුණාකරල නැවැත එන්න." ලෙසින් ඇමැතිවරයාගෙන් තිසරට පිළිතුරු ලැබිණි.
ඒ අනුව යළිත් ගෙවල් බලා එන්නට තිසර ඇතුළු අය තීරණය කළේ ඒ වනවිටත් ෆ්ලයිට් එකට නැඟලා සිටි දුෂ්මන්ත චමීර හා සචිත් පතිරණ දෙදෙනාද නැවත බැස ඒමෙන් පසුවයි. ක්‍රීඩකයන් ගුවන්තොටුපොළට ගිය ක්‍රිකට් ආයතනයේ බස් රථය ඒ වනවිටත් ගුවන්තොටුපොළේ තිබූ අතර එහි සිටි ක්‍රිකට් ආයතනයේ සුළු සේවක කීර්ති නැවත කැඳවීමේ පණිවුඩය රැගෙන ක්‍රීඩකයන් වෙත දිවගොස් බසය තවමත් තිබෙන බව දැනුම් දී තිබිණි. ඒ අනුව ක්‍රීඩකයන් 9 දෙනාගෙන් අසේල ගුණරත්න හා තිසර පෙරේරා, සචිත් පතිරණ හැර ඉතිරි හයදෙනා එම බසයේම නැවැත ක්‍රිකට් ආයතනය වෙත පැමිණියා.

අසේල ගුණරත්න සිය පවුල සමඟ මහනුවර සිට වෑන් රථයකින් ක්‍රිකට් ආයතනයට පැමිණ සිටි නිසා නැවත මහා රාත්‍රියේ ගුවන් තොටුපොළේ සිට නිවෙසට යෑමට පහසුකම් නොමැති බැවින් ඔහු ගුවන්තොටුපොළේම හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා. තිසරත් නැවැත ගෙදරට කතාකර වාහනය ගෙන්වා ගෙන ගෙදර ගොස් තිබුණා. සචිත්ගේ පියා ජානක මහනුවර සිට තම වාහනයෙන් පැමිණ කොළඹ පදිංචි සචිත් සමඟ ගුවන්තොටුපොළට ගොස් ඔහු බස්සවා නැවත කොළඹ තලාහේන ගෙදරට ආසන්න වෙත්ම කෝල් එකක් ඇවිල්ලා... බැලින් නම් ඒ කෝල් එක සචිත්ගෙන් "තාත්තේ අපසු එන්න. අපි ගියේ නැහැ" යනුවෙන් කියැවුණ ඒ පණිවුඩයෙන් ජානක තිගැස්සිලා. වෙන කවරදාකවත් නැති දෙයක් මේ මොකද වුණේ එහෙමයි වුණේ ඇයිදැයි සිතමින් ජානක, සචිත්ගේ තලාහේන නිවෙසට ආසන්න වෙත්ම ලැබුණ ඒ කෝල් එක නිසා නැවත වාහනය හරවා ගෙන කටුනායක ගුවන් තොටුපොළට ගියා.

එහෙම ගිහිල්ලා සචිත් සමඟ නැවත ක්‍රිකට් ආයතනයට මහ රෑ ගිහිල්ලා තිබුණා. ඒ වෙනකොට තරංග, ධනංජය, ධනුෂ්ක, චමීර, ප්‍රදීප්, චතුරංග යන ක්‍රීඩකයනුත් ක්‍රිකට් ආයතනයට පැමිණ තිබුණා. අකිල ධනංජය ඔහුගේ මෝටර් රථය ක්‍රිකට් ආයතනයේම නවතා බස් එකෙන් ගුවන්තොටුපොළට ගියේ ඔහුගේ අයියා පසුදා ක්‍රිකට් ආයතනයට පැමිණ අකිලගේ මෝටර් රථය රැගෙන යන නිසයි. නමුත් මේ හදිසි සිදුවීම දැනගත් අකිලගේ බිරිය සහ පවුලේ අය නැවත ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබුණා. නමුත් එසේ නැවත පැමිණි කිසිම ක්‍රීඩකයකු ක්‍රිකට් ආයතනය පරිශ්‍රයේ වැඩි වේලාවක් රැඳී සිටීමට අදහස් කළේ නැහැ. හැකි ඉක්මනින් විසිර ගියේ බලවත් අමනාපයෙන් බවත් පැවැසෙනවා. ඒ කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා රටේ ක්‍රීඩා නීතිය ක්‍රියාත්මක කළා මිස නාඩගමක් නැටුවා කියලා නීතියට ගරු කරන අය නම් කිව්වේ නැහැ. කොහොම වුණත් කරපු වැරැදිකාරයන්ට තවත් වැරැදි නොකරන්න පාඩමක් උගන්වල නැවත පසුදාම ඉන්දියාව බලා යෑමට ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන්නා.

සිරිනාම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon