ජාතිවාදයේ කාණු පල්ලට වැටුණු උතුරේ දේශපාලනය

  👤  3565 readers have read this article !
By mawbima 2017-12-10

කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් අපිට උතුරේ දේශපාලකයන්ගේ අශික්ෂිත ගෝත්‍රික බව පසුගියදා යළිත් රටට කීවේය. මේ පිරිස එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටින්නේ ජාතිවාදී පල් මඩ ගොහොරුවට ගලන කුණු කානු පල්ලට වැටෙමිනි. ඔවුන් එකිනෙකා පරදවමින් ජාතිවාදී කුණුපය පහරමින් සිටිති.
ශ්‍රී ධරන් පසුගියදා කීවේ කිලිනොච්චිය - ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කළ යුතු බවය. ඒ බව එස්. ශ්‍රී ධරන් වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දුන්නේය.

"මෙතැන බුදු පිළිමයක් ඉදිකරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමටයි... දැන් එම ස්ථානයේ යුද හමුදාව නැහැ. ඒ නිසා බුදු මැඳුරක් තිබීමෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ..."
"රුපියල් මිලියන 3,200ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. ඒ නිසා ජලාශයේ ඇතුළුවන ‍ෙදාරටුව පුළුල් කිරීමට අවශ්‍යයි. මේ බුදු මැඳුර පිහිටීම ඊට බාධාවක්. මේ බුදු මැඳුර හැදුවේ යුද හමුදාව. යුද හමුදාව ලවාම මේ බුදු මැඳුර ඉවත් කිරීමට පියවර ගන්න."

මේ ශ්‍රී ධරන්ලා විසින් විකල් කරන්නට හදන උතුරේ කතාවය. මේ කතාවේ අතිශය බිහිසුණු ස්වරූපය පසුගිය දෙසතියක කාලය තුළ අප උතුරේදී අත්දුටුවේය. උතුරේ සහජීවනය හා සංහිඳියාව ඇති කර ශ්‍රී ලාංකික ජාතියක් සම්බන්ධයෙන් කොළඹ සිට අහවල් දෙයක්වත් කතා කර පලක් නැති බව විග්නේශ්වරන්, ශ්‍රී ධරන් ඇතුළු උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් දැන් අපිට සන්නිවේදනය කර තිබේ. ඔවුහු එදා වේල හොයා ගත නොහැකිව දුගී බවේ පතුලෙහි ගිලී සිටින උතුරේ බහුතර පොදු මහජනතාව සමාජ ආර්ථික වශයෙන් ගොඩනැංවීම පසෙක තබා ඔවුන්ට යළිත් ජාතිවාදයේ විස පොවමින් සිටිති.

මෑතකදී ජාතික ධජයට ගරු බුහුමන් කිරීමට නොහැකි බව පවසමින් වවුනියාවේදී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කළේ උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යවරයාය. ඔහු ඉන් ප්‍රකට කළේද ජාතිවාදයයි. ජාතික ධජයේ සිටින සිංහයා සිංහල ජාතියේ වීරත්වය කියාපාන සංකේතයක් නිසා දෙමළ ජාතිය මේ ජාතික ධජයට ගරුබුහුමන් දැක්වීම නොකළ යුතු බව ඔහුගේ අදහස විණි.

එම අමාත්‍යවරයාගේ ප්‍රකාශය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා හැර අනෙක් සියලු දෙනාම අනුමත කොට තිබිණි. සංහිඳියාව ගෙඩනඟන්නටත් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන්නටත් තෝරාගෙන සිටින සුමන්තිරන් මන්ත්‍රිවරයා පවා ප්‍රකාශ කළේ තමන්ද මේ ජාතික ධජයට කැමැත්තක් නොමැති බවය.
මහවිරු දිනයේදී ඔවුන් ඔසවන ලද්දේ එල්.ටී.ටී.ඊ. කොඩියයි. යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කොඩිගසේ එසවුණේ එල්.ටී.ටී.ඊ. ධජයයි. යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ධජයට සමාන ධජයක් එසවිණි. මේ ක්‍රියාවන් නීතියට කෙසේ වෙතත් සදාචාරයට පටහැනි යැයි කීමට එකම දෙමළ නායකයකු හෝ ඉදිරිපත් නොවීය. ජාතිවාදී අදහස් ඔවුන් තුළ නොතිබිණි නම් අවම වශයෙන් එල්.ටී.ටී.ඊ. ධජයවත් එසවීමකින් තොරව මහවිරු දිනය සමරමු යැයි ඔවුන්ට යෝජනා කිරීමට හෝ අවස්ථාව තිබිණි. නමුත් මුළු උතුරු ප්‍රදේශය පුරාම ජාතිවාදය ඇවිළෙන තෙක් ඔවුන් කළේ නිහඬව සිටීමය.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් මහදවල් මහවිරු දිනය සැමරුවේ කෝපායි නගරය මධ්‍යයේය. ඔහුට අවශ්‍යතාව තිබුණේ ආරක්ෂක අංශ පැමිණ එම අවස්ථාව කඩා කප්පල් කර ගැනීමට පසුබිමක් සකස් කර ගැනීමටය. නමුත් එය එසේ සිදු නොවිණි.

මන්ත්‍රිවරයාගේ උපකල්පනය වූයේ ඊට පෙරදින කෝපායි සුසාන භූමිය අසලට ආරක්ෂක අංශ සතු සන්නද්ධ රථයක් පැමිණීමය. උතුරේ කුමන හෝ ස්ථානයක සිදු කෙරෙන මහවිරු උළෙලකට ආරක්ෂක අංශ ලවා ප්‍රහාරයක් එල්ල කරවා ගැනීමට හෝ එවැනි උළෙලක් කඩා කප්පල් කරවා ගැනීමට මේ ජාතිවාදීන්ට ඉතා විශාල වුවමනාවක් තිබිණි. එය එසේ වූවානම් දෙමළ ජනතාවට යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සැමරීමට හෝ සිංහල ආරක්ෂක අංශවලින් ඉඩක් නොමැති බව ලෝකයට පෙන්වීමට ඔවුන්ට වුවමනාවක් තිබිණි.
මේ කෝපායි උළෙලට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා ඇමැතිනි ආනන්දි සශිධරන්ද පැමිණ සිටියාය. සිංහල හමුදාව මඟින් දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කොට ඇති බව කීමටත්, යුද සමයේදී අහිංසක දෙමළ වැසියන්ව සමූල ඝාතනයකට ලක් කළේ මේ සිංහල හමුදාව යැයි කීමටත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ගියේ මේ ඇමැතිවරියත් සිවාජිලිංගම් මන්ත්‍රිවරයාත්ය.

කෝපායි මහවිරු උළෙලටත් ආරක්ෂක අංශවලින් යම් විරෝධතාවක් එල්ල වූයේ නම් ඔවුන් දෙපළ තවත් ලිපි ගොනුවක් කිහිලි ගසාගෙන ජිනීවා යන බව ඒකාන්තය. නමුත් මෙවර උතුරේ කිසිදු ස්ථානයක පැවැති මහවිරු උළෙලවලට ආරක්ෂක අංශවලින් බාධා එල්ල නොවිණි.
මේ තත්ත්වය නිවට කමක් ලෙස බොහෝ දෙනකු හඳුන්වා තිබිණි. නමුත් අනවශ්‍ය කඩාකප්පල් කිරීමක් සිදු කිරීමට ආරක්ෂක අංශ උත්සාහ කළේ නම් ජාතිවාදය පෙරදැරි කරගෙන ගෙන ගිය මෙම ව්‍යාපාරයට ඔවුන්ට තවත් ආශීර්වාදයක් ළඟා වනු ඇත. නමුත් මෙහිදී සිදුවිය යුතු අවශ්‍යතාවක් තිබේ. එනම් මේ රටේ තහනම් සංවිධානයක නායකයාගේ ඡායාරූපවලට මල් පහන් පූජා කළ පිරිසක් ඊළාම් ධජය එසවීමට ක්‍රියා කළ පිරිසක් ප්‍රමාදවී හෝ අත්අඩංගුවට ගැනීමය. එකම රටක් තුළ රටවල් දෙකක් තිබිය නොහැකිය. එසේම නීති දෙකක්ද නොතිබිය යුතුය. මේ නිසා රටේ පවත්නා නීතියට අනුව වැරැදි කරපු පිරිස අත්අඩංගුවට ගැනීම නම් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරන්නේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන ෆෙඩරල් අවශ්‍ය බවකි. මේ ෆෙඩරල් ක්‍රමය තුළින් රට බෙදීමක් සිදු නොවන බව සම්පන්දන් මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් මේ රටේ තෛ්‍රනිකායික මහ නායක හිමිවරුන්ටද ප්‍රකාශ කොට තිබිණි.

මහවිරු සැමරුම්වලට උතුරේ ජනතාව පැමිණ සිටියේ පවුල් පිටිනි. මේ ජනතාව ඇමැතූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම් කියා සිටියේ ප්‍රභාකරන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමට සිංහල රජයට අත්උදව් සපයන ලද්දේ දෙමළ ජාතික සන්ධානය බවයි. සිංහල රජයට ඔහු විනාශ කිරීමට තිබූ වුවමනාවත්, දෙමළ ජාතික සන්ධානයේ පිරිසකට රජයෙන් වාසි ලබාගැනීමට තිබූ අවශ්‍යතාවත් මත දෙමළ නායකයන් මරා දැමූ බව ඔහු කිසිදු හිරිකිතයකින් තොරව කියා සිටියේය. මේ කතා අසා සිටි පිරිසට තවදුරටත් සිංහල ජාතිය සමඟ සහජීවනයෙන් සිටීමට අවශ්‍යතාවක් නැතැයි යන හැඟීම පහළ වෙනවාට කිසිම සැකයක් නොමැත. මෙහි බරපතළම කාරණය එම අවස්ථාවට සහභාගිවී සිටි හයක් හතරක් නොතේරෙන දරුවන්ගේ සිත් තුළටද ජාතිවාදයේ විසබීජ ඇතුළු වීමය. ඔවුන් ඔවුන්ගේ මනසට අනුව තේරුම් ගන්නේ සිංහල ජාතිය අපේ පරම හතුරන් බව පමණකි.

ප්‍රභාකරන් විසින් ගොඩනඟන ලද ඊළාම් දේශයේ ජනතාවට (කිලිනොච්චියේ හා මුලතිව් පළාත්වල) එදා ඔහු වපුරා තිබුණේද මේ විසබීජමය. සිංහලයන් ජීවත් විය යුත්තේ අනුරාධපුරයෙන් එහා බිමේ පමණක් බව ඔහු කියා තිබිණි. අනුරාධපුරයෙන් උතුරු දෙසට වූ භූමිය දෙමළ ජනතාවට අයත් භූමියක් බවත් දුටුගැමුණු විසින් එය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිංහල ජනතාව අතට පත් කළ බවත් ප්‍රභාකරන්ගේ ඉතිහාස පොතෙන් ජනතාවට උගන්වා තිබිණි. යුද්ධය හමාරවී එම ජනතාව දකුණට පැමිණෙන තුරුම ඔවුන් විශ්වාස කළේ සිංහල ජනතාව අපේ පරම හතුරන් බව පමණකි.

මේ ජාතිවාදයම යුද්ධය හමාරවීමෙන් පසුවද ක්‍රියාත්මක කරන්නේ උතුරේ දේශපාලනඥයෝය. මහවිරු සැමරීමේ දිනයේදී යුද්ධයෙන් මියගිය පුද්ගලයෝ සිටින පවුල්වල උදවියට මේ දේශපාලනඥයෝ පෙනෙන්නේ දෙවිවරුන් වශයෙනි.

ළඟ එන පළාත් පාලන මැතිවරණයේදී උතුරේ දේශපාලනඥයන්ගේ එකම සටන් පාඨය වන්නේද මේ ජාතිවාදයයි.
උතුරේ දේශපාලනඥයන් පමණක් නොව දකුණේ බොහෝ දේශපාලනඥයන්ද සිය ජයග්‍රහණයේ තේමා පාඨය කරගනු ලබන්නේ ජාතිවාදයයි. ඔවුන් දකුණේ සිට උතුරේ දෙමළ ජාතිවාදය ගැන කතා කරති. ඡන්දය දිනති. උතුරේ දෙමළ දේශපාලනඥයෝ දකුණේ සිංහල ජාතිවාදය ගැන කතා කොට ඡන්දය දිනති. දෙපිරිසම දෙපැත්තකට වී රට ජාතිවාදයෙන් ගිනි තබද්දී ජාතික සමගිය, සංහිඳියාව, සමානාත්මතාව, අයිතිවාසිකම් යන ඒවා සිංහල භාෂාවේ වචන කීපයක් පමණක් වන්නේය.
රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon