මළත් නොමළ ‘බෙග්’ මාස්ටර්ට අවුරුදු 100යි

  👤  3548 readers have read this article !
By mawbima 2017-12-10

ඔහු උපත ලැබුවේ 1918 දෙසැම්බර් පස්වැනිදා මදුරාසියේ සෙලාම් නගරයේය. ඔහුගේ පියා සෙලාම් නගරයේ පොලිස් නිලධාරියකු වශයෙන් සේවය කළේය. එනිසා බෙග් ඉගෙනීම ලැබුවේ සෙලාම්හි මිෂනාරි පාසලකය. බෙග් සංගීතය ඉගෙන ගත්තේ ස්වෝත්සාහයෙනි. පියා පොලිස් සේවයේ තූර්යවාදක කණ්ඩායමේ වාදකයකු නිසා ඉන් තමාගේ සංගීත හැකියාව පෝෂණය වූ බව බෙග් වරෙක කීවේය.

පියාගේ කැමැත්ත වූයේ තම පුතා රජයේ සේවකයකු කිරීමය. උර්දු ගීතයට දස්කම් පෑ බෙග් ලංකාවට පැමිණෙන්නේ 1934දීය. අසිස් නම් තමාගේ වැඩිමහල් සොහොයුරා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරමින් සිටියදී ඔහුගේ අකල් මරණය ඊට හේතු විය. ඒ නිසා ඉංගී්‍රසි ආණ්ඩු විසින් බෙග්ව ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවා ගත්තේය.
එකල සංගීත මාස්ටර්ලා ධනවත් පවුල්වල නිවාසවල සංගීත සාජ්ජ පැවැත්වූහ. උර්දු ගී ගැයීමට සමත්ව සිටි බෙග් මෙම සංගීත සාජ්ජවලට නැතුවම බැරි විය. ග්‍රෑම්ෆෝන් යුගයේ කොළොම්බියා හා එච්.එම්.වී. තැටි නිෂ්පාදකයන් අතර අති මහත් තරගකාරී තත්ත්වයක් ඇති විය. එහි සංගීතය සැපයූවේ මොහොමඩ් ගවුස් නම් වූ සංගීතවේදියාය. එහෙයින් මාර්ග උපදේශකයා වූයේ මොහොමඩ් ගවුස්ය. උර්දු ගී පමණක් ගායනා කරමින් සිටි බෙග් එකල ගීත රචකයකු වූ යූ. ඩී. පෙරේරාට හඳුන්වා දෙන්නේ ගවුස්ය. ගවුස්ගේ යෝජනාවක් අනුව බෙග් යූ. ඩී. පෙරේරා හමුවිය. ඉන් සිංහල ගීත ගැයීමේ අවස්ථාව බෙග්ට හිමි විය. කේ. කේ. රාජලක්ෂ්මී සමඟ කරුණා මුහුදේ නාමු ගිලීලා යන ගීතය සිංහල ගීතයක් හැටියට බෙග් ගායනා කරන ලදී. පසුව ගුවන් විදුලියට සම්බන්ධ වී හින්දි ගීතයක් ගායනා කරන ලදී. ඉන් බෙග්ගේ ගීතවලට වැඩි ඉල්ලුමක් ඇති විය.

වර්ෂ 1947 අප්‍රියෙල් 9 වැනිදා තිරගත වූ අශෝකමාලා චිත්‍රපටයට බෙග් ගායනා කළ ඔහුගේ මුල්ම චිත්‍රපට ගීතය විය. එය ප්‍රදර්ශනය වීමෙන් පසු ඔහුගේ ගී කුසලතාව වඩාත් කැපීපෙනෙන්නට විය. 1952 උමතු විශ්වාසය චිත්‍රපටය ඔහු ගී ගැයූ දෙවැනි චිත්‍රපටයයි. 1953 වර්ෂයේ ඔහු ගායනා කළ ගීත වඩ වඩාත් කැපී පෙනෙන්නට විය. කැලෑ හඳ චිත්‍රපටයේ "පෙම් අම දහරා හදපිරිලා" හා "මායා මයා" "කෝ සැපතක් මේ සංසාරේ" යන ගීත චිත්‍රපටවලින් නිකුත් වූ වෙළෙඳ තැටි උණු උණුවේ අලෙවි වන්නට විය. "මායා මායා" කෝ සැපතක් මේ සංසාරේ ගීතය බවුජි බවුරා යන හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ (හෝ දුමියා කෝ රකුවාලේ) ගීතයේ අනුකරණයකි. 1947 සිට 1956 අතර කාලය ආන්දෝලනක් ඇති කළ එකම ගායකයා මොහිදින් බෙග් විය. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් පැවති උත්සවයට කරුණාරත්න අබේසේකර සූරීන් රචනා කළ ගීතය (2500 බුද්ධ ජයන්තිය බැබළේවා) ඇසීමෙන් එකල අගමැතිවරයාව සිටි ශ්‍රීමත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් අද සිට මොහොදින් බෙග් ලංකාවේ පුරවැසියකු බව පවසා පුරවැසි භාවය ලබා දුනි.

ලක්වැසි සියලු දෙනාගේ සිත් සෝ සයුරේ ගිල්වා 1991 නොවැම්බර් 4 වැනිදා උදේ බෙග් අපෙන් සදහටම සමුගත්තේය. එහෙත් ඔහු ගැයූ සෑම ගීතයක්ම තවමත් අප අතරේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon