ශ්‍රී ලනිප-ඒකාබද්ධ අවසන් සාකච්ඡාව බිඳ වැටේ

  👤  2809 readers have read this article !
By mawbima 2017-12-11

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළයෙන්ද, ඒකාබද්ධ පොදුජන පෙරමුණ මල් පොහොට්ටුවෙන්ද තරග වැදීම සඳහා අවසන් තීරණය ගෙන ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සීමිත පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා "අත" ලකුණෙන්ද ඒකාබද්ධ පොදුජන පෙරමුණ කරුණා අම්මාන් මහතාගේ පක්ෂය සමඟ නැඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා "බෝට්ටුව" ලකුණෙන්ද තරග කිරීමට තීරණය කර තිබේ.
එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකාබද්ධ පොදුජන පෙරමුණ අතර පසුගිය සිකුරාදා රාත්‍රි පැවති තීරණාත්මක සාකච්ඡාව අසාර්ථක වීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන ඇත.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ ප්‍රධාන කරුණු කිහිපයක්ම මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම යන කාරණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිකුරාදා රාත්‍රි 10.00 සිට මධ්‍යම රාත්‍රි 12.30 දක්වා කොළඹදී ඉතා රහසිගතව පැවැත්වුණු මෙම තීරණාත්මක සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහභාගි වී තිබේ.
ඒකාබද්ධ පොදුජන පෙරමුණෙන් සහභාගි වී තිබෙන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ දැනුවත්භාවය මත මෙම තීරණාත්මක සාකච්ඡාව සිදුව තිබෙන අතර යම් හෙයකින් එම සාකච්ඡාව සාර්ථක වූවා නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තීරණාත්මක හමුවක්ද සැලසුම්කර තිබූ බව වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon