සැමියාගේ පණ නළ රකිනු රිසින් වකුගඩුවක් දන් දුන්නා බිරිය විසින් මරුවා පැමිණියා හිත මිතුරු වෙසින් මිනිසුනි මෙදුක වාවනු කෙලෙසකද ඉතින්

  👤  3194 readers have read this article !
By mawbima 2017-12-11

සිය ආදරණීය සැමියාගේ ජීවිතය රැක ගැනීම උදෙසා බිරිය විසින් ඇයගේ වකුගඩුවක් පරිත්‍යාග කළද ජීවත් වීමේ වරම් අහිමිවූ තිදරු පියකු පිළිබඳ පුවතකින් තලාතුඔය ප්‍රදේශවාසීහු මහත් කම්පාවට පත්ව සිටිති.

ව්‍යාපාරිකයකු වූ පී. බී. ඉලුක්කුඹුර මහතා 59 හැවිරිදි වියේ පසු වූවෙකි. තලාතුඔය නගරයේ ව්‍යාපාරික කටයුතුවල යෙදුණු ඔහු කලක සිට වකුගඩු ආබාධයකින් පෙළෙමින් සිට ඇත. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.
ඔහුට ගැළපෙන වකුගඩුවක් සොයා ගැනීමට කොතරම් වෙහෙසුණද නොලැබුණු බැවින් සිය ආදරණීය සැමියා ජීවත් කරලීම උදෙසා තමාගේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඔහුගේ බිරිය තීරණය කර ඇත.

ඒ අනුව ඉකුත් 5දා මහනුවර රෝහලේදී ඇයගේ වකුගඩුවක් ඔහුට බද්ධ කර තිබේ.
සියල්ල යහපත් ලෙසින් සිදුවුවද ඉකුත් 8දා අලුයම් කාලයේ ඔහුගේ තත්ත්වය බරපතළ අතට හැරී තිබේ. වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළද ඔහු අවසන් නින්දට ගොස් තිබේ.
මෘත දේහය නිවෙසට රැගෙන ගියද ඔහුගේ බිරිය සැත්කමට භාජන වූ බැවින් ඇයට රෝහලෙන් පිටව නොයන ලෙසට වෛද්‍යවරුන් තරයේ අවවාද කර ඇත.
එහෙත් තමාගේ වකුගඩුවක් ලබාදී සිය සැමියා රැකගන්නට වෙර දැරූ ඇයට මෙය මහත් වේදනාවක් විය.

තමරා කුමාරි රත්නායක නම් 52 හැවිරිදි ඇය ඊයේ (9දා) තම නිවෙසට පැමිණියේ අවසන් වරට තම ආදරණීය සැමියාගේ නිසල දේහය දැකගන්නටය.
සැමියාගේ දේහය අසල ඇය වැලපෙනු කාගෙත් සිත් කම්පාවට පත් කළේය. තවමත් පාසල් යන දියණියන් දෙදෙනා සහ එකම පුතුණුවන් ඇයව අස්වසාලීමට තැත් කරනුයේ දෙනෙතේ වැගිරෙන කඳුළු දහරාවන් සමඟය. ඇය දේහය අසලින් ඉවත්කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වුවත් එය කළ යුතුම දෙයක් වූයේ වෛද්‍ය උපදෙස් මතය.
දරු තිදෙනා සහ සිය ආදරණීය බිරිය මෙලොව තනිකර ඔහු ඉරිදා (10දා) දින මළ හිරු බසිනා සැන්දෑ යාමේ සිය ඥාතීන් හා හිතවතුන්ගෙන් සදහටම සමුගත්තේය.

හේවාහැට - සරත් උළුවිටිකේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon