මත්තල ගුවන් තොටුපොළ ඉදිරිපිට වළක වැටී සිටි අලි පැටවකු සහ ඇතින්න බේරාගෙන

  👤  2971 readers have read this article !
By mawbima 2017-12-11

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට, මත්තල ගුවන් තොටුපොළ ඉදිරිපිට කාණු පද්ධතියක් සම්බන්ධ වන ස්ථානයක අනාරක්ෂිත වළක වැටී සිටි ඇතින්නක සහ පැටවකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා උඩවලව ඇත් අතුරු සෙවණේ වනජීවී නිලධාරීන් එක්ව පසුගිය 8 වැනිදා බේරාගනු ලැබීය.

හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් හට ගම්වාසියකුගෙන් ලැබුණු තොරතුරකට අනුව අලි පැටවා සහ ඇතින්න බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන ලදී.
මේ අතර වළේ වැටී සිටි ඇතින්න ගොඩට පැමිණ අලි පැටියාට රැකවරණ ලබා දෙමින් ඒ ආසන්නයේ රැඳී සිටීම නිසා වනජීවී නිලධාරීන් හට අලි පැටවා බේරා ගැනීමට නොහැකි වූයෙන් උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන ප්‍රමුඛ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇතින්නට නිර්වින්දනය වීම සඳහා ඔෟෂධ ලබාදීමෙන් පසු ඇතින්න එම ස්ථානයෙන් අෑත් වූ අතර වනජීවී නිලධාරීහු එක්ව වළේ සිටි අලි පැටවා ගොඩට ගෙන මවු ඇතින්නට ලබාදීමට කටයුතු කළහ.

මේ වසරේ පමණක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළවල්වලට වැටී සිටි අලි පැටවුන් තිදෙනකු බේරාගත් බවත් ඊට අමතරව හක්කපටස් කෑමෙන් බරපතළ තුවාල ලබා සිටි අලි පැටවුන් තිදෙනකු උඩවලව ඇත් අතුරු සෙවණට භාරදීමෙන් පසු මියගිය බවද හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ.පී. විජයකුමාර කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon