රජයට ලැබුණු ඩොලර් මිලියන 300 විශේෂ ගිණුමක තැන්පත් කරනවා

  👤  2921 readers have read this article !
By mawbima 2017-12-11

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා රජයට ලැබුණු ඩොලර් මිලියන 300ක මුදල විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය ගිවිසුම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක චෙක්පත පිළිගැන්වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ සෙනසුරාදා (09දා) පෙරවරුවේ පැවැති උත්සවයේදීය.
ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ ඉකුත් 29 වැනිදා අස්සන් කරන ලද ගිවිසුම නිල වශයෙන් සෙනසුරාදා (09දා) සිට ක්‍රියාත්මක වේ.

හම්බන්තොට වරාය චීන-ශ්‍රී ලංකා පුළුල් ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන බවත් එමඟින් හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරාය බවට පත් කිරීමට ක්‍රියා කරන බවත් අගමැතිවරයා එම උත්සවය අමතා කීවේය.

ජාතික ආණ්ඩුව හම්බන්තොට වරාය ක්‍රියාකාරී වරායක් ලෙස දියුණු කිරීමටයි ක්‍රියා කරන්නේ. ඒ අනුව වරාය වටේ ආර්ථික කලාප කිහිපයක් ඇති කරනවා. සංචාරක කලාපයක් වශයෙන් දියුණු කර කර්මාන්ත හා ආර්ථික පදනමක් රුහුණට ඉතිහාසයේ පළමු වරට ලබා දෙනවා. කටුනායක, බියගම, සීතාවක වැනි ප්‍රදේශවල ඇති දියුණුවක් එවිට එහි ඇති වෙනවා.

2015 හා 2018දී චීන ජනාධිපතිතුමා සමඟ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හා මා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වුවමනා නීති පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කර ගත්තා. හවුල් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන අවස්ථාවේ අද අපට ඩොලර් මිලියන 300ක මුදලක් ලැබෙනවා. එම මුදල විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කරනවා. අවුරුදු විසිපහකට පසු අප ණය ගෙවීම සඳහා ක්‍රියා කර ඇති ආකාරය පෙනෙනු ඇති.
මෙය අවසන් වන විට අපේ සංචිතවලට ඩොලර් මිලියන ගණන් ලැබෙයි. අනාගත පරපුරට කිසිම බයක් සැකක් නැතිව ඉදිරියට යන්න

පුළුවන්. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. චීන රජයට හා එරට නියෝජිතයන්ට මේ අවස්ථාවේ ස්තුතිය පළ කරනවා යැයිද අගමැතිවරයා කීය.
චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස්් සමාගමේ විධායක උප සභාපති ආචාර්ය හූ ජින්හුවාද අදහස් පළ කළේය.

මහින්ද සමරසිංහ, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම යන ඇමැතිවරුන්ද නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිවරයාද ඉරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ යන රාජ්‍ය ඇමැතිවරුන්ද ආනන්ද කුමාරසිරි, හර්ෂණ රාජකරුණා, ආශු මාරසිංහ යන මන්ත්‍රිවරුද චීන රජය, වරාය අධිකාරිය සහ සමාගමේ නිලධාරීහුද මේ අවස්ථාවට පැමිණ සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon