රට හදන්න නම් මෝඩකම දුරු කළ යුතුයි

  👤  2679 readers have read this article !
By mawbima 2017-12-11

"පොඩි එවුන්ගේ පොත් ටික ගන්නේ කොහොමද කියලා මං මේ කල්පනා කළේ. මේ වැස්ස නිසා හරියට කුලියක් මලියක් කරගන්න බැරිවුණා"
"ජයන්ත සිල්වා මන්ත්‍රිතුමා හමුවෙලා ඕක කියන්නකෝ. එතුමා හැම පාරම අපේ ළමයින්ට පොත් බෙදනවා. මාත් අපේ පොඩි එවුන්ට හැම පාරම පොත්ටික ගන්නේ මන්ත්‍රිතුමාගෙන්"

ඉහත සඳහන උපුටා දැක්වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ අඩු ආදායම්ලාභී පවුල්වලින් නිතර ඇසෙන කතාවකි. පැරෂුට් වගේ පාත්වෙලා සමහරු දේශපාලනය කරන්න හිතාගෙන හිටි හැටියේ ළමයින්ට පොත්, පෑන්, පැන්සල් බෙදයි. එහෙත් ඒවා පැරෂුට් වගේම වහා නොපෙනී යයි.
ප්‍රඥා ප්‍රදීප සංකල්පය යටතේ වසර 30ක් සුවිසල් විශාල සමාජ මෙහෙවරක් කරන බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා පළපුරුදු දේශපාලනඥයෙකි. ඉකුත් දිනක අප ඔහුගේ කොළඹ 08, බොරැල්ලේ බාවා පෙදෙසේ පිහිටි නිවෙසට ගියේ 30 වසරක "ප්‍රඥා ප්‍රදීපයේ" ගමන් මඟ ගැන කතාබහ කිරීමටය.
දැන් ප්‍රඥා ප්‍රදීපයට වසර 30ක් වෙනවා නේද..? මේ තරම් දිගු ගමනක් ආවේ කොහොමද..?"

"මගේ අරමුණ හො¼දයි. ඒ වගේම පැහැදිලියි. අපේ සංවිධානය නමින්ම පේනවනේ. ඒකෙ අරමුණ කවුරුවත් මුළා කිරීම නොවේ. පුද්ගලයා සේම සමාජය ගොඩගන්න නම් මෝඩකම, අවිද්‍යාව දුරු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වසර 45ක් ගම්දනව්වල ඇවිදිමින් බණ දේශනා කළේ ඔය අවිද්‍යාව දුරු කරන්නයි. මමත් ප්‍රඥා ප්‍රදීපය සංවිධානය යටතේ මූලික වශයෙන් සමාජයේ තිබෙන නූගත්කම නැති කරන්න වසර 30ක් තිස්සේ ප්‍රයත්න දරනවා. නූගත්කම නිකම් ඇතිවෙන්නේ නැහැනේ. ඒ සඳහා සමාජයේ අධ්‍යාපන පරිසරයක් තිබෙන්න ඕන. ඒ වගේ අධ්‍යාපන පරිසරයක් හැදෙන්න නම් සමාජය දිහා බැලුවාම තියෙන අයට ඕන තරම් තියෙනවා. නැති මිනිහට තමන්ගේ දරුවන්ට පොතක් පෑනක්වත් අරන් දෙන්න වත්කමක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි ප්‍රඥා ප්‍රදීපය යටතේ වසර 30ක් පුරා දරුවන්ට පොත්පත් බෙදාදෙන්න පටන් ගත්තේ.

ගැල්කරුවෝ මෙයට දශක කිහිපයකට පෙර සමාජයේ ප්‍රවාහන කටයුතු සඳහා ඉතා විශාල මෙහෙවරක් ඉටුකළා. දැන් සමාජ තත්ත්වය වෙනස්වීම නිසා ඔවුන්ට තැනක් නැති වුණත් ඔවුන් කළ මෙහෙවර අමතක කරන්න බැහැ. අන්න ඒ නිසා තමයි අපි ගැල්කරුවන්ගේ ජීවිත නඟා සිටුවන්න වැඩපිළිවෙළක් පටන්ගත්තේ. ඒ වගේම සමාජයේ අවධානයට ලක්නොවූ කලාකරුවන්, තමන්ගේ පෑන රටේ යහපත වෙනුවෙන් යොදවලා අසරණව පැත්තකට වෙලා සිටින මාධ්‍යවේදීන් ගැනත් අපි හොයලා බැලුවා"
"මේ වගේ මහජන සේවයක් කිරීමට ඔබ යොමුවුණේ කොහොමද..?"
"මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විදුහලේ. ඒ කාලේ අපට බුද්ධ ධර්මය ඉගැන්වූ හාමුදුරුවෝ නිතර මතක් කළ කතාවක් තියෙනවා. ඒ තමයි මගමානවක කතාව. මගමානවක කියන්නේ ඉතා සුළුවෙන් සමාජ සේවය පටන්ගෙන සුවිශාල සමාජ මෙහෙවරක් කළ හැකි සමාජ ව්‍යාපාරයක් හදපු කෙනෙක්. අපට හාමුදුරුවෝ ඉගැන්වූ හැටියට ඔය මගමානවක තමයි පස්සේ ශක්‍ර දිව්‍ය රාජයා බවට පත්වුණේ. ඒ කියන්නේ දෙවියන්ගේ නායකයා බවට පත්වුණේ එයා. ඉතින් සමාජ වැඩ කරන්න ගෙදරින් ලැබුණු හුරුවට හොඳ පරිසරයක් මේ කතාවෙන් මට ලැබුණා. නිතරම ඔය කතාව මට මතක් වෙනවා.
අනික ඉතාම සංවිධානාත්මකව තමයි අපි වැඩ කරන්නේ. මිනිස්සුත් එක්ක වැඩ කරලා වැඩ කරන කලාව මම හොඳට දන්නවා. මිනිසුන්ට සේවය කරන්න ඕන කොහොමද..? ඔවුන්ට වුවමනා කරන්නේ මොන වගේ සේවයක්ද..? මේ ආදිය ගැන මට හොඳට දැනෙනවා. ඒකත් අපේ ගමන සාර්ථක වීමට ප්‍රධාන හේතුවක්"
"ඔබ කොහොමද මේ වැඩ කරන්න මුදල් හදල් හොයාගන්නේ..?"
"මම මේක පටන්ගත්තේ එදා නාගරික මන්ත්‍රිවරයෙක් හැටියට මගේ මන්ත්‍රි වැටුප පරිත්‍යාග කරලා. දැනුත් මගේ වැටුප පරිත්‍යාග කරන්නේ ප්‍රඥා ප්‍රදීපයේ වැඩවලට. තවත් මගේ හිතවතුන් රැසක් මේ ගමනට උදවු කරනවා. අපේ වැඩේ විනිවිදව, හොර බොරු නැතිව යනකොට ගොඩක් අය අපට උදවු කරන්න පටන්ගත්තා. දැන් ඉතින් ප්‍රඥා ප්‍රදීපය ලංකාවේ අඛණ්ඩව පාසල් දරුවන්ට පොත්, පෑන් ඇතුළු උපකරණ බෙදපු සංවිධානය බවට පත්වෙලා තියෙන්නේ. නොයෙක් අය අපි අනුකරණය කරන්න හැදුවත් ඒක සාර්ථක වුණේ නැහැ."

"ඒ ඇයි...?"
"එයාලට අපේ හරය හෝ අරමුණ අල්ලගන්න බැරිවුණා. ඒ අය බැලුවේ ජනතාවට පොත පෙරළන්න. අපි බැලුවේ පොතක්, පැන්සලක් දීලා හැම පැල්පතකම ප්‍රඥා ප්‍රදීපයක් දල්වන්න."
"ප්‍රඥා ප්‍රදීපයේ ඉදිරි ගමන කොහොමද..?"
මේකේ 30 වැනි සැමරුම දෙසැම්බර් 16 වැනිදා කැම්බල් පිටියේදී සමරනවා. එහිදී සංස්කෘතික සන්දර්ශනයක් එක්ක පොත්පත් බෙදා දෙනවා. ඉදිරියටත් මහජන සේවය කරමින් මගමානවක ආදර්ශය අනුව ප්‍රඥා ප්‍රදීපය ඉදිරියට යනවා"

දේශබන්ධු ඒ. සුමිත් පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon