මියගිය පියා හීනෙන් කී පරිදි මැණික් මුට්ටිය ගන්න නිදන් හෑරූ නිවෙස් හිමිකාරිය ඇතුළු 8ක් රිමාන්ඩ්

  👤  2762 readers have read this article !
By mawbima 2017-12-11

අනුරාධපුර _
මහේෂ් විජේසූරිය

මියගිය පියා හීනයෙන් පැවසූ මැණික් මුට්ටිය ලබා ගැනීම සඳහා නිවෙසේ පිටුපස කුකුළු කූඩුව ආසන්නයේ නිදන් හාරමින් සිටි බව කියන නිවෙස් හිමිකාරිය ඊට සහාය දැක්වූ තවත් කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු තලාව පොලිසිය විසින් ඉකුත්දා අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

තලාව කුරුඳුවැව ප්‍රදේශයේ පෞද්ගලික නිවෙසක් පිටුපස කැණීමක් සිදුකර නිධානයක් ගොඩ ගන්න යන බවට තලාව පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පිරිසක් ඉතා රහසිගතව එම ප්‍රදේශය වටලා නිවෙස හිමි 56 හැවිරිදි කාන්තාව සමඟ තවත් කාන්තාවන් තිදෙනකු, නිධානය ගොඩගැනීම සඳහා පැමිණි බව කියන 75 හැවිරිදි කට්ට¾ඩියා හා හිටපු සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිවුදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි තවත් සැකකරුවකු පොලිස් ග්‍රහණයෙන් මිදී පලාගොස් ඇත. ඔහු එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය තහවුරු කරගෙන තිබිණි. සැකකරුවන් මාසයක පමණ සිට නිවෙස පිටුපස පිහිටි කුකුළු කූඩුව පිටුපස අඩි 18ක පමණ ගැඹුරට විශාල වළක් හාරා නැවතත් අඩි පහක් පමණ දිග දෝනාවකින් මැණික් මුට්ටිය ඇතැයි කියන ස්ථානයට ළංවෙමින් සිටි බව පොලිසිය පැවැසුවේය.

සැකකරුවන් නිදන් හෑරීම සඳහා යොදාගත් උදලු දෙකක්, අලවංගු දෙකක්, පිකස් එකක්, බාල්දි, ලණු, බහිරව පූජාව සඳහා ගෙනැවිත් තිබූ බහිරව පිළිම පූජා භාණ්ඩ ඇතුළු භාණ්ඩ විශාල තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

නිවෙස හිමි කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලිසියට පවසා තිබුණේ සිය මියගිය පියා හීනයෙන් පැමිණ නිවෙස පිටුපස කුකුළු කූඩුව පිහිටි ස්ථානයේ ඇති මැණික් මුට්ටිය සහිත මහා ධනස්කන්ධය ලබාගෙන පොහොසතකු වන ලෙස ලබාදුන් උපදෙස් මත පිරිස එක්කාසු කරගෙන මැණික් මුට්ටිය ගොඩ ගැනීමට උත්සාහ කළ බවයි. පියා විටින් විට සිහිනයෙන් පැමිණ විඳිනා දුක් අවසන් කිරීමට එය ගොඩ ගන්නා ලෙස උපදෙස් දුන් බව ඇය පොලිසියට පවසා තිබේ.

සැකකරුවන් පිරිස රාගම, ගලෙන්බිඳුණුවැව, හුරුළුනිකවැව, අනුරාධපුර, කලත්තෑව, පුබුදුපුර හා තලාව කුරුඳුවැව පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවේය.
සැකකරුවන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon