කෝටියකට වැඩි රට සල්ලි අරන් සිංගප්පූරුවට පනින්න හැදූ චීනා කටුනායකදී රේගු දැලේ

  👤  2658 readers have read this article !
By mawbima 2017-12-11

කටුනායක _ගයා තිරිමාදුර

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයකු විසින් නීති විරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ රුපියල් (එක් කෝටි පහළොස් ලක්ෂ හතළිස් පන්දහස් එකසිය තිහක්) 1,15,45,130ක් වටිනා සිංගප්පූරු ඩොලර් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය. මොහු 25 හැවිරිදි චීන ජාතිකයෙකි. ඔහු තවත් චීන ජාතිකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කර ආපසු යන අතරතුර, මෙසේ මෙම මුදල් තොගයද නීති විරෝධීව රැගෙන යෑමට තැත්කර තිබේ.

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ මෙම සිංගප්පූරු ඩොලර් (ලක්ෂයක) 100,000ක මුදල සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරිවරුන් වන ජී. රෙංගරාජ්, ඒ. ඩී. එල්. එස්. රූපසිංහ, කේ. කේ. එස්. මධුෂාන් යන මහත්වරුන් විසින් සිදුකර තිබේ. මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය රේගු අධිකාරි ආර්. එස්. කේ. සෙනෙවිරත්න මහතාගේ සහාය මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජයන්ත දංගමුව මහතා විසින් පැවැත්වීය.
චීන ජාතිකයා රැගෙන ආ සිංගප්පූරු ඩොලර් ලක්ෂයක මුදලෙන්, ඇමෙරිකානු ඩොලර් 10,000ක් වටිනා මුදල් ප්‍රමාණයක් නිදහස් කර, ඉතිරි මුදල් තොගය රාජසන්තක කළේය. පසුව මෙම චීන ජාතිකයාට අවවාද කර නිදහස් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon