සියල්ලේ වගකීම භාරගන්නවා මිස අපි නිදහසට කරුණු කියන්නේ නැහැ

  👤  3165 readers have read this article !
By mawbima 2017-12-11

ආපදා තත්ත්වය නිසා මුහුණපෑමට සිදුවූ අභියෝග පිළිබඳව නිදහසට කරුණු දක්වන්නේ නෑ. අප වගකීම භාර ගන්න ලෑස්තියි. ජනතාවට වගකියන රජයක් වශයෙන් අප මෙම අභියෝගයට සාර්ථකව මුහුණදීමට සූදානම් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
මෙම ප්‍රකාශය කිරීමට අදහස් කළේ ජීවන වියදම පාලනය සම්බන්ධව මෙන්ම ඒ පිළිබඳව අප රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු කිහිපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට යැයි පැවැසූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීවේය.

අපේ රටේ ආර්ථිකය මෙන්ම ආහාර සැපයුම් ජාලයද ඉතා විශාල වශයෙන් දේශගුණික හා කාලගුණික රටාව හා ර¼දා පවතින්නක්. විශේෂයෙන්ම ඊසාන දිග මෝසම හා නිරිත දිග මෝසම අනුව ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය හැඩගැසී තිබෙනවා.
නමුත් පසුගිය වසර කිහිපය තුළ දේශගුණික හා කාලගුණික රටාවේ වෙනසක් අපි හැමෝටම දැනිලා තිබෙනවා. සමහර විට ගංවතුර ඇති වුණා. නැති නම් නියඟය ඇති වුණා. සමහර දිස්ත්‍රික්කවලට ගංවතුර ගලනකොට සමහර දිස්ත්‍රික්කවල බවුසර් මඟින් පානීය ජලය බෙදන්නට අපිට සිදු වුණා. පසුගිය නොවැම්බර් මාසයේ බලාපොරොත්තු වුණු මෝසම් වැසි නොලැබීම නිසා නියඟයේ බලපෑම තවදුරටත් වැඩි වුණා.

පසුගිය කාලයේ පැවැති කාලගුණික විපර්යාසයන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ විට අපට පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවයි. මෙම දේශගුණික වෙනස්කම අපේ රටේ කෘෂිකර්මයට හා ආර්ථිකයට විශේෂයෙන්ම ගෘහස්ථ ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපා තිබෙනවා.
දිගින් දිගටම පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළම ගොවීන්ට තම වගා කටයුතුවල නිරත වීමට හැකියාවක් ලැබුණ් නැහැ. සමහර පළාත්වල කන්න තුන හතරක්ම වගා පාළුවට ගියා. විශේෂයෙන්ම පසුගිය දිනවල පැවැති නියං තත්ත්වය හේතුවෙන් පොල් පලදාව විශාල ලෙස පහත වැටුණා. සහල් නිෂ්පාදනයද විශාල වශයෙන් අඩු වුණා. මෙම කාලය තුළ එළවළු වගාවද 30%කින් පමණ අඩු වී තිබෙනවා.

විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය බලාපොරොත්තු වුණේ උඩරට හා පහතරට හෙක්ටයාර් 32,216ක එළවළු වගා කරනු ඇතැයි කියායි. නමුත් වගා කර තිබුණේ උඩරට හෙක්ටයාර් 10,712කුත් පහතරට හෙක්ටයාර් 19,000කුත් පමණයි. ඒ වගේම සහල් නිෂ්පාදනය 40%කින් පහත යනු ඇතැයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

එසේම 2018 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මසකට පොල් ගෙඩි මිලියන 40ක පමණ හිඟයක් ඇති විය හැකි බව පුරෝකථනය කර තිබෙනවා. දැනට තිබෙන වාර්තා අනුව 2018 මැයි මස දක්වා පොල් ගෙඩි මිලියන 195ක් අවශ්‍යයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා කාලගුණික අනාවැකි ලබා දුන්නත් ස්වාභාවික විපත් දිගින් දිගටම සිදු වීම නිසා එය අහිතකර අන්දමින් ආහාර සැපයුම් දාමයට බලපෑවා.

මේ හේතුව නිසා වෙළෙඳපොළ තුළ ආහාර ද්‍රව්‍ය සැපයුමේ යම් හිඟයක් ඇති වුණා. අනෙක් අතට ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑමක් නිරීක්ෂණය වුණා. ආහාර නිෂ්පාදනය අඩු වන විට ආහාර ආනයනය කළ යුතුයි. පැවැති පසුබිම අනුව එම තක්සේරුව නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි වුණා. මීට සමගාමීව රටේ ජාතික ආර්ථික වර්ධන වේගය අඩු වීමක් සිදුවුණා.
මේ වසරේ අපි 5.5%ක ආර්ථිකයක් අපේක්ෂා කළා. නමුත් නියඟය හා ගංවතුර නිසා මෙය 4.5% දක්වා අඩු වන බව මහ බැංකුව වාර්තා කරලා තිබෙනවා. අපේ රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ සියයට 1.2ක් බවට පත්වී තිබෙනවා.
කලක් තිස්සේ පැවැති දේශගුණික රටාව මෙසේ වෙනස් වීම හේතුවෙන් අපගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවන් වෙනස්වීමට භාජන වුණා. තමන්ට ගොවිතැන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ගොවීන්ට තිබුණේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව ගොවීන් විසින් තීරණ ගන්නට පෙලඹුණා. සමහරු වගා කිරීම අතහැර දැම්මා. සමහරු වගා ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට ප්‍රදේශවල එළවළු වගා බිම් ප්‍රමාණය 36%කිනුත් පහතරට එළවළු වගා බිම් ප්‍රමාණය 30%කිනුත් අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විටින් විට වාර්තා කර තිබෙනවා. මේ තත්ත්වය අනෙකුත් බෝග වගාවන්වලටත් බලපා තිබෙනවා.
මා නිදහසට කරුණු දක්වනවා නොවෙයි. අපි වගකීම භාර ගන්න ලෑස්තියි. නමුත් යථාර්ථය පැහැදිලි කළ යුතුයි. ජනතාවට වගකියන රජයක් වශයෙන් අපි මෙම අභියෝගයට සාර්ථකව මුහුණදීමට සූදානම්.

පසුගිය අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම්වලදී ජීවන වියදම පාලනය කිරීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ජනාධිපතිතුමාත් කරුණු කිහිපයක් මතු කළා. එහිදී අප තීරණ රැසක් ගනු ලැබුවා.

පෞද්ගලික අංශය හා සතොස ආයතනය සහභාගි කර ගනිමින් සහල් ආනයනය කිරීමට මහා භාණ්ඩාගාරයට අවසර ලබා දුන්නා. දැනටමත් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීමට කටයුතු යොදා අවසන්. මීට අමතරව තවත් අවශ්‍ය නම් සහල් ආනයනය කිරීමට කටයුතු කරනවා. ලබන මහ කන්නයේදී සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් මාසය තෙක් අපට මෙම ප්‍රශ්නයට මුහුණදෙන්න සිදු වෙනවා.
නමුත් එතෙක් පවතින හිඟය පියවා ගැනීමට කටයුතු කිරීමට සිදුවෙනවා. එසේම ජීවන වියදම පිළිබඳ කැබිනට් අනුකමිටුව හරහා කඩිනමින් රට පුරා සහල් බෙදාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කළා.

එසේම අවශ්‍ය නම් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පෞද්ගලික අංශයෙන් සහල් මිලදී ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. එසේම මසකට පොල් ගෙඩි මිලියන හතළිහක් පමණ වන හිඟය පියවාගෙන දේශීය ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පොල් සැපයුමක් තහවුරු කිරීම සඳහා පොල් ආශි්‍රත කර්මාන්තකරුවන්ට පොල් මද ආනයනය කිරීමට අවසරය ලබාදීමටත් තීරණය කළා.

මීට අමතරව පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා කිරීමට නොහැකිව අසරණ වී සිටින ගොවි පවුල් හඳුනාගෙන ඔවුන් හට වැඩි වශයෙන් සහන ලබාදීමට ක්‍රමවේදයක් සති 02ක කාලයක් තුළ සැකසීමට මුදල්, ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු, කෘෂිකර්ම යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක්ද පත් කරනු ලැබුවා.

එසේම කාලගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මයට සිදුවී ඇති බලපෑම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා හා රවුෆ් හකීම් යන අමාත්‍යතුමන්ලාගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමටද කටයුතු කළා. ජීවන වියදම පාලනය කිරීම සඳහා තවත් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නට අප ලැහැස්තියි.

මා ලබන සතියේ අදාළ සියලුම පාර්ශ්ව ඒ වගේම ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමඟ මෙම දේශගුණික වෙනස් වීම් සැලකිල්ලට ගෙන ආර්ථිකය සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මා කල්පනා කරන විදියට අපිට දේශගුණික වෙනස් වීම්වලට මුහුණදීමට ආර්ථිකය සූදානම් කිරීමට සිදු වෙනවා. ඒ සඳහා අලුත් යාන්ත්‍රණයක් සැකසීමට සිදුවෙනවා.

කෘෂි අංශයේ වර්ධනය අඩු වීමට ඉඩ තිබෙන බැවින් ආර්ථිකයේ වෙනත් අංශ හඳුනාගෙන සංවර්ධනය තවත් වේගවත් කිරීමට සිදුවෙනවා.
දේශගුණික වෙනස්වීම් නිසා ආර්ථික වර්ධනය අඩාල වීමට ඉඩ දීමට හැකියාවක් නැහැ. අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ලැබුණු පසුව මේ සම්බන්ධව අප රජය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිඳවද මා මේ ගරු සභාව ඉදිරියේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon