බැඳුම්කර වංචාවෙන් ආර්ථිකය අඳුරු කළා සේ වරාය විකිණීමෙන් අඳුරු කරන්නේ රටේ අනාගතයයි

  👤  2775 readers have read this article !
By mawbima 2017-12-11

යහපාලන ආණ්ඩුව බැඳුම්කර මංකොල්ලය හරහා රටේ වර්තමාන ආර්ථිකය අඳුරු කළා නම් හම්බන්තොට වරාය විකිණීම හරහා ඔවුන් අඳුරු කරන්නේ රටේ අනාගතය බව' ආචාර්ය නාලක ගොඩහේවා 'දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය මඟින් සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99කට පවරා දීමේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත විය. රටට ආදරය කරන රට ගැන අවබෝධයක් තියෙන ලාංකිකයකුට නම් මෙය ඉතාමත් ශෝකජනක අවස්ථාවක්.

මේ වරාය නිම වූ විට එහි ධාරිතාව කොළඹ වරාය මෙන් 20 ගුණයකටත් වැඩියි. අද කොළඹ වරාය වසරකට රුපියල් කෝටි 4,000ක පමණ ආදායමක් උපදවනවා නම් සාදා නිම වූ විට හම්බන්තොට වරායට කොතරම් විශාල ආදායමක් ඉපැයිය හැකිද?

මෙතරම් වටිනා ජාතික සම්පතක් එදා වේල දුවා ගන්නට බැරි ආණ්ඩුවක් අපට අහිමි කරන්නේ මොනතරම් සොච්චම් මුදලකටද, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2කට. රුපියල්වලින් නම් කෝටි 18,000කට. මේ මුදල අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වාර්ෂික වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වන මුදලින් 25%ක පමණ ප්‍රමාණයක්. රාජ්‍ය සේවකයන්ගේ වාර්ෂික විශ්‍රාම වැටුපත් රුපියල් කෝටි 16,000ක් පමණ වෙනවා. වරාය අවුරුදු 99කට අද බදුදී එන වසරේ ආණ්ඩුව විකුණන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මොනවාද?

අවුරුදු 99ට ගණන් බැලුවා නම් මේ වරාය ගනුදෙනුව නිසා රටට අහිමිවෙන ඉඩම් වටිනාකම පමණක් රුපියල් කෝටි ලක්ෂයක් පමණ වෙනවා.
ණය ගෙවා ගන්නා බැරි නිසා මේ වරාය බදුදෙනවා කියන එක අමූලික බොරුවක්. මොකද මේ වරාය ගන්න ගත් විදේශ ණයවල සාමාන්‍ය පොලී අනුපාතය 3.2%ක් පමණයි. වසර 25ක් තියෙනවා ණය ගෙවන්න. පොලියත් එක්ක ගෙවන්න තියෙන මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 25,500ක් පමණ වෙනවා. ඉන් රුපියල් කෝටි 7,500කට වඩා ගෙවල ඉවරයි. එසේ ගෙවලත් වරාය අධිකාරිය ලාභ ලබල තියෙනවා. තව ඉතුරුවෙලා තියෙන්නේ කෝටි 18,000යි. සැලැසුම් කළ විදියට වරාය දියුණු කළා නම් 2025ට පෙර සම්පූර්ණ ණය මුදල ගෙවා නිම කළ හැකිව තිබුණා වරාය අධිකාරිය ලාභ ලබමින්ම.

දැන් අපට සිදුවන්නේ චීන සමාගමක් අපේ භූමියේ සාර්ථක ව්‍යාපාරයක් කරන එක දිහා බලා ඉන්න පමණයි. අපේ දරුවන්ට වෙන්නේ විදේශ සමාගම්වල සේවකයන් වෙන්න විතරයි.

රටක පාලකයන්ට අනාගත පරපුර ගැන වගකීමක් තිබෙනවා. ඒ වගකීම අමතක කොට රටේ ආර්ථික මර්මස්ථාන විකුණන විට එය අනුමත කරමින් පාර්ලිමේන්තුවේ අත උස්සන සියලු දෙනාම දේශද්‍රෝහීන්. ඔවුන් කවුද කියා ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. ඔවුන්ව මතක තබා ගත යුතුයි.

චාමින්ද කරුණාරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon