රහසිගත ණය ගැන අගමැති කළ කතාවෙන් ජාත්‍යන්තරයෙන් ණය ගන්න එක ප්‍රශ්නයක් වෙලා

  👤  2978 readers have read this article !
By mawbima 2017-12-11

පසුගිය ආණ්ඩුවේ රහසිගත ණය ඇති බවටත් 2008 - 2014 දක්වා බැඳුම්කර වංචා සිදු වූ බවටත් අගමැති කළ ප්‍රකාශය පිළිබඳවත් රටේ ව්‍යවහාරයේ පවතින කාසි හා නෝට්ටුවලින් ඇතැම් ඒවාට ශ්‍රී ලාංකේය පුරවැසිභාවයක් නැති අයකු අස්සන් කිරීම පිළිබඳවත් ජාතියට දැරිය හැකි ණය ප්‍රමාණය 83% දක්වා ඉහළ යෑම පිළිබඳවත් අපක්ෂපාතී විමර්ශනයක් කිරීමට විපක්ෂ මන්ත්‍රිවරයකු සහිතව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාවක් පත්කරන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

එම වාර්තාව මාස තුනක් ඇතුළත අඛණ්ඩව රැස්වී හෝ සත්‍ය වාර්තාවක් ලෙස ඉතා ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බවද මන්ත්‍රිවරයා පැවැසුවේය.
ඊයේ (10දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

අයවැය තුන්වැනි වර කියවා සම්මත කර ගත්තා. පසුගිය කාල පරිච්ඡේදය පුරාවටම උදේ සිට සවස් වනතුරු පාර්ලිමේන්තුව තුළ අය වැය විවාදය පැවැත්වුණා. තුන්වැනි වර අය වැය කියවා අවසන් වීමෙන් පසු අය වැය තුළින් මේ වනවිට උරුම වෙලා තියෙන ප්‍රධාන ගැටලු හා ඒවාට ලබාගැනීමට හැකි විසඳුම් පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍යයි.
රජයේ අවශ්‍යතාව අනුව පුවත් වාර්තා කරන එක් පුවත්පතක් 'පසුගිය ආණ්ඩුවේ රහසිගත ණය අගමැති හෙළි කරයි. ගිය ආණ්ඩුවේ සිදුවීම්වල විදේශිකයන් තවමත් මුදල් ඉල්ලනවා' යනුවෙන් පාර්ලිමේන්තුවේ අගමැතිගේ ප්‍රකාශනයක් ඇසුරෙන් වාර්තා කර තිබුණා. පසුගිය ආණ්ඩුවේ රහසිගත ණය ප්‍රමාණයක් අගමැතිවරයා දන්න බවත් එතුමා හෙළි කරන බවත් මේ ප්‍රකාශයෙන් කියැවෙනවා. දෙවනුව රජයේ ණය ලබා ගැනීමේදී භාවිත කිරීමේ ප්‍රධාන උපකරණයක් වන බැඳුම්කර නිකුත් කිරීමේදී 2008 වසරේ සිට 2014 දක්වා වූ වංචා පිළිබඳ සොයන බව උත්තරීතර සභාවට දැනුම් දීලා තියෙනවා. අගමැතිවරයාගේ මෙකී ප්‍රකාශ දෙක මේ වනවිට අන්තර්ජාතිකව විශාල අවධානයකට යොමු වෙලා.

ජාතික පුවත්පතක් මුල් පුවත ලෙස අගමැතිවරයා කළ ප්‍රකාශණයක් ප්‍රසිද්ධියට පත් කළාට පස්සේ ලංකාවේ තියෙන සියලුම තානාපති කාර්යාල ඒ ප්‍රකාශය පරිවර්තනය කර ඒ ඒ රටවලට යවනවා. තානාපති කාර්යාලවල රාජකාරියක්, යුතුකමක්, වගකීමක් ලෙසයි එය සලකන්නේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ මේ වනවිට මතුවෙලා තියෙන පළමු ප්‍රශ්නය ලංකා ආණ්ඩුව ණය ගන්න විට හංගලා, සටහන් නොතබා ණයගැනීම. ලංකා ආණ්ඩුව ලබාගන්න ණය ආපසු ගෙවන්න සමස්ත ලාංකේය ජනතාව බැඳී ඉන්නවා. කවදාවත් ලංකා ඉතිහාසයේ දේශීය හෝ විදේශීය ණය ගෙවීම් පැහැර හැරීමක් පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් අපිට උරුම වෙලා නැහැ. නමුත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ නිසා තවදුරටත් අපිට ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ණය ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතුව තියෙනවා. පුද්ගලයකුගෙන් වෙනත් ඕනම සමාගමකින් ණය ගැනීමේදී ණය ඉල්ලා සිටින අයගේ පැටිකිරිය, තත්ත්වය ගැඹුරින් සොයා බලනවා. ඒ ගැන සොයා බලන්න ණය තොරතුරු කාර්යාංශයකුත් තියෙනවා. ණය තොරතුරු කාර්යාංශය මොහු මීට කලින් ණයක් අරන් ණය ගෙවීම පැහැර හැර තියෙනවා කිව්වොත් ආයෙ ණයක් ගන්න බැහැ. රටේ අගමැතිවරයා කියනවා නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය හංගලා කියලා හෝ පොත්වල ලියලා නැහැ කියලා, ණය හංගන රටකට තවදුරටත් ණය ආධාර දෙන්න කැමැති වෙන මූල්‍ය වෙළෙඳපොළ මොකක්ද? මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක්.

ඉෂාරා ද සිල්වා
ඡායා - දුම්ඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon