ශ්‍රී ලනිපය කැඩුවේ මහින්ද නොවෙයි චන්ද්‍රිකාලා-අනුරලා

  👤  2732 readers have read this article !
By mawbima 2017-12-11

අද පක්‍ෂය දෙකට නොකඩා පක්‍ෂයට එකතු වන්න කතා කළත් පක්‍ෂය කැඩීමට වගකිව යුත්තේ චන්ද්‍රිකා මහත්මිය බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතා පවසයි.
මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ නිට්ටඹුව මාතලාන ප්‍රදේශයේ ඉකුත් සෙනසුරාදා (09දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ පැවැති හමුව අමතමිනි.

එහිදී මන්ත්‍රිවරයා මෙසේ ද පැවැසීය.
ඔබට මතක ඇති සතාට ඡන්දය දෙන්න කිව්වා. මහින්ද මහත්තයා දිනුවත් අගමැති කම දෙන්නේ නෑ කියලා කිව්වා. පක්‍ෂයේ ලේකම්වරු අයින් කළා. අපේ ලක්‍ෂ 58ක මිනිස්සු ලක්‍ෂ 47ට බැස්සා. මහජනතාව ඡන්ද පොළට ගියේ නෑ. මහින්ද මහත්තයට අගමැතිකමවත් දෙන්නේ නැති හින්දා ඊට පස්සේ අපිට 95යි. යූ.ඇන්.පී. ඇතුළු පෙරමුණට 105යි. කාටවත් බහුතර බලයක් තිබුණේ නැහැ. ඔබතුමන්ලා අපිට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව හදන්නවත් එක්සත් ජාතික පක්‍ෂය එක්ක මුක්කු ගහන්න නොවෙයි. ශ්‍රී ලංකා පක්‍ෂය ප්‍රමුඛව අපේම ආණ්ඩුවක් හදන්න. අපේ මැති ඇමැතිවරුන් මස්කටුවලට තනතුරු වරදාන වරප්‍රසාදවලට ගිහිල්ලා ඇමැතිකම් ගත්තා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට ගේන්න කටයුතු කරපු දෙමළ සන්ධානයට විපක්‍ෂ නායකකම දුන්නා. ඊළඟට සහයෝගය දුන්න අනුර කුමාරට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. අද මේ ආණ්ඩු විරෝධී එකම බලවේගය කවුරුත් නොවෙයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුක්ත ඒකාබද්ධ විපක්‍ෂය පමණයි. අනිත් ඔක්කොම ආණ්ඩුවත් එක්ක ඉන්නේ.

මස් කට්ට කකා තමයි පොඩි එවුන්ව පාවා දෙන්න හදන්නේ. තමන් පක්‍ෂය වෙනුවෙන් කැප වෙනවා නම් ආදරේ නම් ඔය වරදාන වරප්‍රසාද දාලා වරෙල්ලකෝ. මේ ආණ්ඩු විරෝධී එකම බලවේගය ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ පොදු ජන පෙරමුණ පමණයි.
මහජනතාව ඉදිරියේ නිර්ධන පන්තිය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණත් පාර්ලිමේන්තුව ඇතුළේ රනිල් එක්ක, මලික්ලත් එක්ක ඩීල් ගහනවා. ඒ නිසා අද අපි මේ ආණ්ඩුවට තියෙන පළමුවැනි වෙඩිමුරය හැටියට තමයි මේ පළාත් පාලන මැතිවරණය තියන්නේ.

අය වැයට විරුද්ධ නොවී ආණ්ඩුවත් සමඟ යමින් අපට කියනවා පක්‍ෂේ කඩන්න එපා පක්‍ෂේ එකතු කරන්නලු. අපි කැපවීම් කරන්න ලෑස්තියි. අනිත් පැත්තෙනුත් කැප කරනවා නම්. ඇමැතිකම් ටික දාලා එන්න ඕනෑ. අපි කොහොමද ආණ්ඩුවට විරුද්ධව බනින්නේ. ආණ්ඩුව විවේචනය කරන්නේ. අපේ මැති ඇමැතිවරු ආණ්ඩුවේ ඉන්නකොට අපිට පුළුවන්ද විවේචනය කරන්න. ඒක තමයි අපි කියන්නේ අපිත් එක්ක එකතු වෙලා ඇමැතිකම් ටික දාලා එන්න කියලා.

මහින්ද මහත්තයා කවදාවත් පක්‍ෂය කැඩුවේ නැහැ. හැමදාම මහින්ද මහත්තයා පක්‍ෂයත් එක්ක හිටියේ. පක්‍ෂයට ආදරෙයි. පක්‍ෂේ කැඩුවේ චන්ද්‍රිකාලා. පක්‍ෂය දාලා ගියේ අනුර බණ්ඩාරනායක මහත්තයලා. අද පක්‍ෂය තිබ්බට වැඩක් නැහැ. පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව වැඩ වෙන්නේ නැත්නම්. අද එක්සත් ජාතික පාක්‍ෂිකයන් පවා කලකිරිලා ඉන්නේ. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා අපේ ප්‍රාදේශීය සභාවක් ජයග්‍රහණය කරන්න ඕනෑ. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න බැහැ.

නිට්ටඹුව - මනෝජ් පතිරණ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon