ලංකාව එක් දින පිපාසය නිවා ගනී

  👤  2888 readers have read this article !
By mawbima 2017-12-11

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් තම රටේදී රැස් කරන ලද තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවට හිර කරමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා හේතු කොටගෙන මෙම වසර තුළදී නොකඩවා එක්දින තරග 12ක් පරාජය ලබමින් ජයග්‍රාහී නියඟයෙන් පසුවූ ශ්‍රී ලංකා පිල යළි ජය මාවතට පිවිසියේ ඊයේ ඉන්දියාවට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේදී කාසිය වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළ ශ්‍රී ලංකා පිල ඉදිරියේ පන්දුවාර 38යි පන්දු 2කදී සියල්ලන් දැවී ලකුණු 112ක් ලබාගැනීමට ඉන්දීය පිල සමත් වූ අතර එය හඹා ගිය ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ කඩුලු 3ක් පමණක් වැය කරමින් පන්දුවාර 20යි පන්දු 4ක් පමණි.

එලෙස ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම 2017 වසරේදී ලැබූ 5 වැනි එක්දින ජයග්‍රහණයත් සමඟම මෙවර එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටින අතර මෙම තරගයේදී ප්‍රතිවාදීන් වෙතින් වාර්තා වූ නිලකුණු පන්දුවාර 13 ඉන්දීය එක්දින ඉනිමකින් වාර්තා වූ වැඩිම නිලකුණු පන්දුවාර සංඛ්‍යාව මෙන්ම වසර 10කට පසු ඕනෑම කණ්ඩායමකින් වාර්තා වූ වැඩිම නිලකුණු පන්දුවාර ගණන වීමද විශේෂත්වයකි.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු නොලබා සිටි ශිකර් ධවාන් විනිසුරු තීරණය නැවත සලකා බැලීමේදී කඩුල්ල මුවාකිරීමේ වරදට ලක්ව ඇන්ජිලෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ දැවීගිය අතර වැඩබලන ඉන්දීය නායක රෝහිත් ෂර්මාද ලකුණු 2ක් ලබා සිටියදී තෙවැනි විනිසුරුගේ විමසීමෙන් පසුව සුරංග ලක්මාල්ගේ පන්දුවකට දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දුන් බවට තහවුරු වීමෙන් දැවී ගියේය. සුරංග ලක්මාල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඟ කාර්තික් ලකුණු නොලබා තෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර ලකුණු 2ක් රැස්කරගෙන සිටි මනීෂ් පාන්ඩේ ලක්මාල්ගේම පන්දුවක් හමුවේ ඇන්ජිලෝ මැතිව්ස්ට උඩපන්දුවක් ලබා දීමෙන් 4වන කඩුල්ල සටහන් කළේය.

ඊයේ තම මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ශේ‍රයාස් අයියර් ලකුණු 9ක් ලබා සිටියදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී ගිය පසු ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 16කට කඩුලු 5ක් විය. එක්දින තරගයකදී ඉන්දීය ඉනිමක කඩුලු 5ක් බිඳ වැටෙන විට වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව එය වූ අතර මහේන්ද්‍ර සිං දෝනි සහ හාර්දික් පාන්ඩ්‍යා 6වන කඩුල්ලට ලකුණු 12ක සබඳතාවක් ගොඩනඟමින් සිටින විටදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට මැතිව්ස්ට උඩපන්දුවක් ලබා දීමෙන් පාන්ඩ්‍යා ලකුණු 10කට දැවී ගියේය.

බුවනේෂ්වර් කුමාර් ලකුණු නොලබාම ලක්මාල්ගේ පන්දුවකට දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබාදීමෙන් දැවීගිය පසු පිටියට පිවිසි කුල්දීප් යාදව් 8 වන කඩුල්ලට මහේන්ද්‍ර සිං දෝනි සමඟ එක්ව ලකුණු 41ක මෙන්ම ඉනිමේ වාර්තා වූ වැඩිම ලකුණු සබඳතාව ගොඩනඟන විටදී යාදව් ලකුණු 19කට ධනංජයගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට ලක්ව දැවී ගියේය. අවසන් කඩුල්ලට ලකුණු 25ක් එක් කරන්නට දෝනි සමඟ යුස්වේන්ද්‍ර චහල් සමත් වූ අතර අවසන් කඩුල්ල ලෙස ලකුණු 65ක් ලබා සිටි මහේන්ද්‍ර සිං දෝනි දැවී යන විට චහාල් ලකුණු නොලබා සිටියේය. මහේන්ද්‍ර සිං දෝනි තම එක්දින දිවියේ වාර්තා කරන ලද 67 වැනි අර්ධ ශතකය එය වූ අතර ඉන්දීය ඉනිම ඔසවා තැබීමට මෙම අර්ධ ශතකය ඉවහල් විය.පන්දු යැවීමේදී සුරංග ලක්මාල් තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 13කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර නුවන් ප්‍රදීප් ලකුණු 37කට කඩුලු 2ක් බිඳ හෙළීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 113ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක එක් ලකුණක් ලබා සිටියදී බුම්රාගේ පන්දුවකට දෝනි හට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගිය අතර ඉන්පසු පිටියට පිවිසි ළහිරු තිරිමාන්න බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු නොලබාම දැවී ගියේය.ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 49ක් ලබා සිටියදී පාන්ඩ්‍යාගේ පන්දුවකට ශිකර් ධවාන්ට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය. පන්දුවාර 20යි පන්දු 4ක්ව තිබියදී ඇන්ජිලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 49ක නොබිඳුණු සබඳතාවකින් තරගය නිමා කරන විටදී මැතිව්ස් නොදැවී ලකුණු 25ක්ද දික්වැල්ල නොදැවී ලකුණු 26ක්ද වාර්තා කළ අතර බුවනේෂ්වර් කුමාර්, බුම්රා සහ පාන්ඩ්‍යා එක් කඩුල්ල බැගින් බිඳහෙලූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon