ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩක කොමිසම නීති විරෝධී එකක් බවට හෙළිදරව්වක්

  👤  2749 readers have read this article !
By mawbima 2017-12-11

සිරිනාම රාජපක්ෂ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (එන්.ඕ.සී.) මැදිහත් වී මෙරට තුළ ජාත්‍යන්තර ක්‍රීඩක කොමිසමක් (ඒබඩතඥබඥඵ' ඛ්ධථථඪඵඵඪධද) ස්ථාපිත කර ඇතත් එම කොමිසම ජාතික ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයි.ඕ.සී.) නීති රීතිවලට පටහැනිව පිහිටුවා ගත් එකක් බවට දැන් තොරතුරු අනාවරණය වී ඇත.
එනම් එන්.ඕ.සී. ව්‍යවස්ථාවට මෙතෙක් ඇතුළත් කොට නොමැති කරුණක් ලෙස ක්‍රීඩක කොමිසමක් පිහිටුවීමේ කටයුත්ත යෝජිත මට්ටමේ තිබියදී එන්.ඕ.සී. ලේකම්වරයාගේ අභිමතය පරිදි එවන් කොමිසමක් පිහිටුවීමත් අයි.ඕ.සී. නිර්දේශයන්ට පිටින් යමින් ශ්‍රී ලංකාව තුළ එය ස්ථාපිත කිරීමත් නීති විරෝධී බව එන්.ඕ.සී. අනුබද්ධ සංගම් සාමාජිකයෝ බහුතරය පෙන්වා දෙති. තවද බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න සභාපතිවරයා ලෙසත් පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා උඩුගම්පල ලේකම්වරිය ලෙසත් පත්කරමින් පසුගිය ජූලි මාසයේදී පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රීඩක කොමිසමට අදාළ නිලධාරීන් පත්කර ගැනීම සඳහා පැවැති රැස්වීමට කැඳවා තිබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු පමණක් බවට වාර්තා වේ.

තවද මෙම ක්‍රීඩක කොමිසම පිහිටුවා ගැනීමේදී එහි සාමාජික සංයුතිය පසුගිය අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල 3ක් (2008, 2012 හා 2016) නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් පමණක් සමත්විත විය යුතු යැයි එන්.ඕ.සී. ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු ඊට මැදිහත් වූ නිලධාරීන් සඳහන් කර සිටියද ක්‍රීඩක කොමිසම පිහිටුවීමට අදාළව 2015 ජුනි මස අයි.ඕ.සී.ය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්හි එවැන්නක් සඳහන් කර නැත. එම මාර්ගෝපදේශයන්ට අනුව පසුගිය වසර 4ක කාලය තුළ සක්‍රියව ඔලිම්පික් ක්‍රීඩාවක නිරත වන ජාතික ක්‍රීඩකයන් මෙම කොමිසමේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදුස්සන් බව පැහැදිලිව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම මූලික සුදුසුකම් පවා විකෘති කරමින් මෙරට එන්.ඕ.සී. ය මැදිහත් වී ස්ථාපිත කර ඇති ක්‍රීඩක කොමිසම ව්‍යවස්ථානුකූල නොවන බවත් වත්මන් එන්.ඕ.සී. බලධාරීන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට පටහැනිව කටයුතු කරන බවත් මෙරට ක්‍රීඩා සංගම් නියෝජිතයන් විසින් අයි.ඕ.සී. යට පැමිණිලි කරන ලද බවටද වාර්තා වේ. පසුගිය සතියේ යවන ලද එම ලිපියට අනුව මෙරට සංගම් නියෝජිතයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විශේෂ මහා සභා රැස්වීමක් නොකැඳවා අදාළ විධායක කමිටු රැස්වීමක් නොකැඳවා සිටින තත්ත්වයක් තුළ අයි.ඕ.සී.ය විසින් මෙරට එන්.ඕ.සීය වෙත දන්වනු ලබන කිසිදු කරුණක් සම්බන්ධව එන්.ඕ.සී. ය විසින් තම සාමාජිකත්වය නිසි ලෙස දැනුවත් නොකරන බවයි. එසේම පවතින එන්.ඕ.සී. ව්‍යවස්ථාවේ ඇතුළත් නොමැති ක්‍රීඩක කොමිසමක් නීති විරෝධී ලෙස හොර රහසේම අටවා ගෙන ඇත්තේ එන්.ඕ.සී. යේ නිලවරණයට ඡන්ද ලබා ගැනීම ඉලක්ක කරගෙන බවද දැනගන්නට ඇත. එනම් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයකදී ක්‍රීඩක කොමිසමේ නියෝජිතයන් දෙදෙනකුට ඡන්දය භාවිත කිරීමේ බලය පැවැරී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon