කොයි වේලේ කඩා වැටෙයිද කියන්න බැරි කටු මැටි ගැසූ ගෙදර ජීවත් වන 79 හැවිරිදි ගුණවතී කියන දුක්මුසු කතාව

  👤  3832 readers have read this article !
By mawbima 2017-12-12

කඩා වැටෙන්නට ආසන්න ඉතාම අබලන් නිවෙසක පාසල් යන දරුවන් තිදෙනකු සමඟ සිටින ඉතා අසරණ පවුලක් පිළිබඳව ඇල්පිටිය කුඩාගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
කුඩාගල අඟුරුකන්ද පාරේ වෙසෙන ටී. එම්. ගුණවතී මහත්මියගේ වයස අවුරුදු 79කි. ගොවිතැන් කරමින් ජීවත් වූ ඇයගේ ස්වාමියා වූ කේ. එච්. සලමන් මහතා මීට අවුරුදු 7කට පමණ පෙර මිය ගොස් ඇත. ඔවුන්ට පුතුන් තිදෙනකු සහ දියණියන් හතර දෙනෙකි. ඔවුහු විවාහකව ගමෙන් අෑත ප්‍රදේශවල වෙන වෙනම ජීවත් වෙති. එහෙත් අවිවාහක 61 හැවිරිදි එක පුතකු හා විවාහ වී දරුවන් දෙදෙනකු සිටින සැමියා අහිමිවූ 40 හැවිරිදි එක දියණියක්ද විවාහ වී එක දරුවකු සිටින සැමියා අහිමි වූ 48 හැවිරිදි දියණියක්ද මේ මව සමඟ අබලන් නිවෙසේ ජීවත් වෙති.

මොවුන්ට ස්ථිර රැකියාවක් නැත. එක් දියණියක් දහවල් කාලයේ ඇල්පිටිය නගරාසන්නයේ නිවෙසක දරුවකු බලා ගනී. අනෙක් දියණිය කුලියට තේ දලු නෙළයි. සොහොයුරා කුලී වැඩ කර කීයක් හෝ උපයාගනී. මේ දරුවන් තිදෙනා 11 වසරේ, 8 වසරේ හා 7 වසරේ පන්තිවල කුරුඳුගහහැතැප්ම ශාන්ත තෙරේසා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබති.
මොවුන් එදිනෙදා උපයා ගන්නා මුදලින් දරුවන් පාසල් යවා යන්තම් කා බී ජීවත් වෙනවා හැර ගෙයක් ‍ෙදාරක් හදාගන්නට හැකියාවක් නැත. මේ නිසා මෙම පවුල ඉතා අසරණ වී සිටිති. මොවුන් ජීවත් වන නිවෙසේ කටු මැටි ගැසූ බිත්ති පුපුරා ඇලවී ඇති අතර ඒවාට ලී මුක්කු ගසා ඇත. එය කොයි මොහොතේ කඩා වැටෙයිදැයි කිව නොහැකි තරමට අබලන්ය. එක් බිත්තියක් ආවරණය කරගෙන ඇත්තේ ටකරන් තහඩුවලිනි. විදුලියද නොමැති මෙම නිවෙස දහවලටත් කළුවරේය. මේ නිසා පාසල් යන මේ දරුවන්ට පොත පතේ වැඩකිරීමට සිදුව ඇත්තේද ඉතා අපහසුවෙනි.

මොවුන්ගේ අසරණකම දැක ගම්වාසීන් එක්ව අලුතින් නිවෙසක් සාදා දෙන්නට උත්සාහ කළද එයද අතරමඟ නතර වී ඇත්තේ මොවුන්ගේම අවාසනාවට විය යුතුය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ගුණවතී මහත්මිය කියා සිටියේ තමන්ට දැන් කිසිවක් කරගත නොහැකි බවත් දරුවන් කුලී වැඩ කරගෙන එන දෙයක් කා තමන් ජීවත් වන බවත්ය. මේ අයට කුලී වැඩ කරලා කවදාවත් ගෙයක් හදාගන්න හයියක් නම් නැහැ. කවුරු හරි පිහිට වෙලා අපිට ගෙයක් හදාගන්න උදවු කරනවා නම් එයාලට පින් සිද්ධ වෙනවා.
දියණිය වන රමණි මල්ලිකා (48) මහත්මිය මෙසේ කීවාය.

මගේ බැඳපු එක්කෙනා නැතිවෙලා. මට එක් පුතෙක් ඉන්නවා. එයා ඉස්කෝලේ යනවා. අට වසරේ. මම ඇල්පිටිය නගරය ආසන්නයේ නිවෙසක දහවල් කාලයේ වැඩ කරනවා. නංගි කුලියට දලු කඩන්න යනවා. එයාටත් 11 වසරේයි, 7 වසරේයි ඉගෙන ගන්න පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාගෙත් බැඳපු එක්කෙනා නැතිවෙලා. අයියත් කුලී වැඩ කරනවා. එයා බැඳලා නැහැ. අපි මේ ගෙයි ඉන්නේ බොහොම බයෙන්. පසුගිය දවස්වල සුළඟ එද්දී අපි කට්ටියම අහල පහළ ගෙවල්වල තමයි නිදා ගත්තේ. අපිට කවුරු හරි පිහිට වෙනවා නම් ඒක ලොකුම පිනක්.

ඇල්පිටිය -
ගයාන් ගුණසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon