භික්ෂුණි ශාසනය නොපිළිගන්නේ බෞද්ධයන් යැයි කියා ගන්නා දේශපාලනඥයන් පිරිසක්

  👤  3977 readers have read this article !
By mawbima 2017-12-12

දඹුල්ල - කේ.කේ. ආරියදාස

මෙරට භික්ෂුණි ශාසනය නොපිළිගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලනඥයන් පිරිසක් බව ආචාර්ය පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ පවසති.
බුද්ධ දේශනාවේ සඳහන් වන භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස මේ වන විට මෙසිරිලක ස්ථාපිත වී තිබියදීත් වර්තමානයේ භික්ෂුණින් වහන්සේ නොපිළි ගන්නේ බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලනඥයන් කණ්ඩායමක් බවත් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ළඟදීම රජය භික්ෂුණින් වහන්සේ පිළිගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහ නායක ශ්‍රී ලංකා භික්ෂුණි ශාසන බල මණ්ඩලයේ සභාපති ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ පවසති.
මහ නාහිමියෝ මේ බව අවධාරණය කර සිටියේ පෙරේදා (10දා) පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් භික්ෂුණි පර්ෂදය සංවිධානය කළ ශ්‍රී සංඝමිත්තා ගුණ සැමරුම් ජාතික උත්සවයේ විශේෂ දේශනය පවත්වමිනි.

දිවයිනේ දිස්ත්‍රික්ක 9ක වැඩ සිටින භික්ෂුණින් වහන්සේ දහසක් පමණ දෙනා මෙදින දඹුල්ල පුද බිමට වැඩම කොට දඹුල්ල ගම් උදාව ක්‍රීඩාංගණයේ සිට සඟමිත් ගුණසමරු පෙරහරකින් කිලෝමීටර් තුනක පමණ දුරක් වැඩමවා රන්ගිරි දඹුලු උයන්වත්ත රජමහ විහාරස්ථානයේ ශ්‍රී ආනන්ද සමරු ශාලාවේදී සඟමිත් ගුණ සැමරුම් ජාතික උත්සවය පැවැත්වූහ.

මෙම උත්සව අවස්ථාවේ පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා භික්ෂුණි ශාසන මණ්ඩලයේ ප්‍රධාන ලේඛිකා කොත්මලේ සිරි සුමේධා මෙහෙණින් වහන්සේ විසිනි. පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ විශේෂ ප්‍රකාශයක් කරමින් වසර 81ක පමණ කාලයක් මෙසිරිලක දසසිල් මාතාවන් ලෙස තැන තැන කිසිදු අයකුගේ ගෞරවයට පාත්‍ර නොවී සිටි බොහෝ දෙනා 1986 වසරේ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සමස්ත ලංකා දස සිල් මාතාවන්ගේ සංගමය ස්ථාපිත කළ බවත් පසුව 1998 වසරේදී මෙසිරිලක දෙවැනි වරට භික්ෂුණි උපසම්පදාව ස්ථාපිත කළ බවත් පැවැසූහ.

සම්බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස මිස දසසිල් මාතා කොට්ඨාසයක් නොමැති බව උන්වහන්සේ පෙන්වා දුන්හ. දසසිල් මාතාවන් යන කොට්ඨාසයට පුරුෂාධිපත්‍ය මෙන්ම බමුණු මත ඇති පිරිසක් මෙන්ම ආණ්ඩු විසින් නිර්මාණය කරගත් එකක් බවද උන්වහන්සේ පැවසූහ.
වර්තමානයේ අලුතින් සිවුවනක් පිරිසක් නිර්මාණය කිරීම සඳහා ඇතැම් නිලධාරීන් සමඟ ඇතැම් භික්ෂුන් වහන්සේ දේශපාලනඥයන් එක්ව ක්‍රියා කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon