උඩරට නැටුමට දක්ෂ ප්‍රවීණ නර්තන ශිල්පිනියක ළිඳකට ඇද වැටී මිය ගිහින්

  👤  3991 readers have read this article !
By mawbima 2017-12-12

දමුණුපොළ - චමින්ද ජයලත්

උඩරට නර්තන කලාවේ උන්නතිය උදෙසා සිය ජීවිතයේ වැඩි කලක් කැප කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය කලා භූෂණ සම්මානයෙන්ද පිදුම් ලබා සිටි උඩරට දක්ෂ නර්තන ශිල්පිනියක් ඊයේ (11දා) නිවෙස අසල ළිඳට වැටී මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ දේවාලේගම, වලගම දකුණ, "රත්න කලායතනයේ අධිපතිනියව සිටි පුස්සපිටිය පනික්කියලාගේ සෝමාවතී 73 හැවිරිදි සිවුදරු මවකි.
අරණායක, පොල්අඹේගොඩ ග්‍රාමයේ උපත ලබා තිබූ සෝමාවතී මහත්මිය මීට වසර 49කට පමණ ඉහතදී දේවාලේගම, වලගම දකුණ ප්‍රදේශයට විවාහ වී පැමිණ එම නිවෙසේ පදිංචිව සිට ඇත. ඇය පාසල් යන අවධියේ සිට නර්තන කලාව පිළිබඳ හදාරා පසුව සැමියාගේ නිවෙසට පැමිණ "රත්න" නමින් කලායතනයක් ආරම්භ කළාය. කලායතනය වැඩිදියුණු කිරීම සඳහා සැමියාගේ පියා සහ සීයාගෙන්ද ඇයට උදවු උපකාරද ලැබී තිබිණි. ප්‍රදේශයේ උඩරට නැටුම් ශිල්පය පිළිබඳ නමක් දිනා සිටි මෙම නර්තන ශිල්පිනිය පසුව ප්‍රදේශයේ දරු දැරියන් හට මෙන්ම සිය දරුවන් සිවුදෙනාටද උඩරට නර්තන කලාව පිළිබඳ සිය දැනුම් සම්භාරයද ලබාදීමට කටයුතු කර තිබිණි.

සෝමාවතී මහත්මියගේ වැඩිමහල් පිරිමි දරුවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර ගුරුවරයකු ලෙස සේවයට එක්වී තිබුණු අතර පසුව ඔහු නර්තන ප්‍රසංග සඳහා ඉන්දියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ජර්මනිය වැනි රටවලටද ගොස් තිබිණි. සෝමාවතී මහත්මියගේ දරුවන් හතරදෙනාද දක්ෂ ලෙස උඩරට නර්තනය හදාරා ඇත. සිය නිවෙසේ කලායතනයක් පවත්වාගෙන යමින් ප්‍රදේශයේ දරු දැරියන්හට හා උඩරට නර්තනය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා 2016 වර්ෂයේ සෝමාවතී මහත්මියට රාජ්‍ය කලා භූෂණ සම්මානයද පිරිනමා තිබිණි.

වැඩිමහල් පුතා සමඟ නිවෙසේ පදිංචිව සිට ඇති මෙම සිවුදරු මව පෙරේදා (10දා) රාත්‍රි ආහාරද ගෙන නින්දට ගිය බව පොලිසිය කියයි. පසුව ඊයේ (11දා) නිවෙසට යාබද පිහිටි නිවෙසක පාවිච්චියෙන් අතහැර දමා තිබූ ළිඳකට වැටී ඇති අයුරු අසල්වැසි කාන්තාවක් දැක තිබිණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියට දරුවන් පැමිණිලි කිරීමෙන් පසු කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය අදාළ නිවෙසේ ළිඳ අසලට ගොස් මූලික පරීක්ෂණ සිදුකර වැඩිදුර පරීක්ෂණ සඳහා මෘතදේහය කෑගල්ල මහ රෝහල වෙත යවා තිබේ.

මියගිය උඩරට නර්තන ශිල්පිනියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (11දා) දහවල් කෑගල්ල මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක නලින් අසංක ජයසුන්දර සහ පොලිස් සැරයන් කුමාර පාරඹේ යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon