ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීම දළ යුගල කොළඹට ගෙන ඒමට සත්ත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ කළ ඉල්ලීම මහෙස්ත්‍රාත් ඉවත දමයි

  👤  3847 readers have read this article !
By mawbima 2017-12-12

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

දැනට අධිකරණය භාරයේ ඇති ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ ඇත් දළ යුගල සහ ගජමුතු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹට රැගෙන යෑමට අවසර ලබා දෙන්නැයි ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා තරයේ ප්‍රතික්‍ෂේප කළේය.

නිකවැරටිය අපරාධ විමර්ශන කොට්ඨාසය රහස් පොලිසිය හා එක්ව ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා මෝසමක් මඟින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මෙලෙස තරයේ ප්‍රතික්‍ෂේප කෙරිණි.

මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ අධිකරණය ලබා දුන් නියෝගයට අනුව ඇත් දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවයි.
එහෙත් ඇත් දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් අදාළ පරීක්‍ෂණ කටයුතු අධිකරණය තුළ සිදු කිරීමට නොහැකි බවද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. තාක්‍ෂණික උපකරණ අධිකරණයට රැගෙන ඒමට ඇති අපහසුව ඊට හේතුව බවද හෙතෙම සඳහන් කළේය. ඇත් දළ යුගල සහ ගජමුතු කොළඹට රැගෙන ගොස් තක්සේරු වාර්තාවක් ලබා ගැනීම සඳහා ඒවා තක්සේරු දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බව ද අධ්‍යක්‍ෂවරයා තවදුරටත් අධිකරණයට දැන්වීය.

එම තත්ත්වය මත දැනට අධිකරණය භාරයේ ඇති ඇත් දළ යුගල සහ ගජමුතු කොළඹට රැගෙන යෑමට අධිකරණයේ අවසරය ලබා දෙන්නැයි ද සත්ත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා අධිකරණයෙන් අයැද සිටියේය.

රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පැවැසුවේ පොලිසිය මඟින් සහ තවත් අංශ කිහිපයක් මඟින් මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන සියලු විමර්ශන කටයුතු මේ මස 12 වැනිදා සිට රහස් පොලිසිය භාර ගැනීමට සූදානම් බැවින් ඊට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස රහස් පොලිසිය මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරයේ ර¼දවා සිටින සැකකරුවන්ගෙන් බන්ධනාගාරය තුළදීම ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයේ අවසර ලබා දෙන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය. ඊට අවසර ලබා දුන් මහෙස්ත්‍රාත්වරයා වාරියපොළ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ බන්ධනාගාරය තුළදී සැකකරුවන්ගෙන් අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසියට අවසර ලබා දෙන ලෙසයි.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා රහස් පොලිසියේ හා පොලිසියේ නිලධාරීන් අමතමින් සඳහන් කළේ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ ඝාතන සිද්ධියට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට හැක්කේ පරිවේෂණීය සාක්කි මත පමණක් බවයි. එම සියලු සාක්කි ර¼දා පවතින්නේ ඇත් දළ යුගල සහ ගජමුතු මත පමණක් බවද මහෙස්ත්‍රාත්වරයා කීවේය. දැනට අධිකරණය භාරයේ සුරක්‍ෂිතව පවතින දළ යුගලේ සහ ගජමුතුවල ආරක්‍ෂාව පිළිබඳව සම්පූර්ණ වගකීම පවතින්නේ මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා යටතේ බව ද මහෙස්ත්‍රාත්වරයා කීවේය.

අධිකරණය භාරයේ පවතින ඇත් දළ යුගල සහ ගජමුතු අධිකරණයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒවායේ වගකීම භාර ගන්නේ කවුරුන්ද? රැගෙන යන්නේ කුමන නිලධාරියා යටතේ ද, එම නිලධාරීන්ගේ තනතුරු කුමක්ද? ඔවුන්ගේ නම් මොනවාද ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහනය කුමක්ද? එම වාහනයේ රියැදුරු කවුරුන්ද රැගෙන යෑමට සහභාගි වන සෙසු නිලධාරීන් කවුද ආරක්‍ෂාව සපයන්නේ කෙසේද? එම නිලධාරීන්ගේ නම් මොනවාද? යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා සත්ත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයාට සහ රහස් පොලිසියට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon