වෙනම රාජ්‍යයක අදහස වළලා දැමිය යුතුයි

  👤  3807 readers have read this article !
By mawbima 2017-12-12

වෙනම රාජ්‍යයක් පිළිබඳ දෙමළ ජනතාවගේ ඉල්ලීම නතර කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.
ආයුධ සන්නද්ධ අරගලය අවසන් වීමත් සමඟ වෙනම රාජ්‍ය පිළිබඳ අදහස වළලා දැමිය යුතුව තිබුණු බවද එම ඉල්ලීම මෙරට ජනතාව අතර සංහිඳියාව ප්‍රවර්ධනය සඳහා බාධාවක් වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ උතුරු-නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳව ඇතුළු දෙමළ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී විග්නේශ්වරන් මහතා මෙසේද කීය.

පළමුව අප තේරුම් ගත යුත්තේ මෙරට ජාතික ගැටලුව යනු කුමක්ද? ඒ සඳහා විසඳුමක් අපේක්ෂා කරන්නේ ඇයිද යන්නයි.
1833දී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංගී්‍රසීන්ගේ පාලනයට පත් වුණා. එනම් මීට වසර 185කට පෙර මෙරට ජීවත් වූ විවිධ ජාතීන් එකම පරිපාලනයක් යටතට පත් වුණා.
මෙහිදී එකමුතු වුණේ යම්තාක් දුරට ඉංගී්‍රසි උගත් ජන කොටස් පමණයි. විශේෂයෙන් මෙහිදී ජනතාව වැඩියෙන් රටේ ඔබ මොබ සංචාරය කිරීම ආරම්භ කළා. වසර සියයකට වැඩි කාලයක් එකම ස්ථානයක ජීවත් වූ දෙමළ ජනතාවත් රැකියා සඳහා රටේ විවිධ ස්ථාන වෙත සංක්‍රමණය වුණා. වෙනත් ආගම් වැලඳ ගැනීම සිදු වුණා.
උදාහරණයක් ලෙස ගතහොත් උතුරේ ජීවත් වූ දෙමළ පවුල් මීට වසර සියයකට පමණ ඉහතදී කොළඹ පැමිණ පදිංචි වී තිබෙනවා. එසේ කොළඹ පැමිණි දෙමළ ජනතාව අනෙකුත් ජන කොටස් සමඟ රැකියාවල, අධ්‍යාපන කටයුතුවල නියැළුණා. ඔවුන් ඒකාබද්ධ කෙරුණේ ඉංගී්‍රසි භාෂාවෙනුයි. මම මාගේ ළමා කාලයේ සිංහල, දෙමළ, මුස්ලිම්, ඉංගී්‍රසීන්, ඉන්දියානු දෙමළ, මැලේ, බර්ගර් යන සියලු ජන කොටස්වලට අයත් ශිෂ්‍යයන් සමඟ ඉගෙනුම ලැබුවා. මෙහිදී අප සියල්ලන් ලාංකිකයන් බවට ඒත්තු ගැන්වූයේ ඉංගී්‍රසි භාෂාවයි.

නිදහස ලැබූ ඊළඟ සතියේ වතුකර දෙමළ වැසියන්ගේ පුරවැසිභාවය අහෝසි කෙරුණා. 1956 ගෙන එනු ලැබූ 'සිංහල පමණක්' නීතිය උතුරු නැඟෙනහිර මෙන්ම එවක සිටි සමස්ත උගත් දෙමළ ජනතාවගේ බඩට වැදුණු පහරක් වුණා. කතෝලික පාසල් රැසක් 1964 වසරේදී රජයට පවරා ගනු ලැබුවා. 1970 වසරේදී උතුරු නැඟෙනහිර දෙමළ සිසුන්ට තිබුණු අධ්‍යාපන අවස්ථා කප්පාදු කරනු ලැබුවා. උතුරු නැඟෙනහිර පළාත්වල රටේ වෙනත් ප්‍රදේශවලින් රැගෙන එනු ලැබූ සිංහල ජනතාව පදිංචි කළා. සිංහල ජනතාව රටේ සෑම ස්ථානයකම පදිංචි කරවීම මඟින් සිදුවූයේ සෑම ප්‍රදේශයකින්ම සිංහල නියෝජිතයකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති හැකියාව වැඩි කිරීමයි. එමඟින් සිදු වූයේ සුළුතරය පීඩාවට පත් කෙරෙන නීති සකස් වීමයි.

ජාතික ගැටලුවට ප්‍රධානතම හේතුව වූයේ බහුතරය තම බලය සුළුතරය පීඩාවට පත් කිරීම සඳහා වන නීති සකස් කිරීමයි. බි්‍රතාන්‍යයන් මෙරටින් පිටත්ව යන විට පැවැති මෙරට පාලන ක්‍රමය පැවැතියේ නම් ඇතැම් විට ජාතික ගටලුවක් ඇති නොවීමට ඉඩ තිබුණා. විවිධ ජාතීන් ආගම් ජීවත් වන රටක් බව අමතක කොට සිංහල බෞද්ධ රටක් ලෙස හුවාදැක්වීමට උත්සාහ දැරීම මඟින් ජාතික ගැටලුව වඩා වර්ධනය වුණා.

උතුරේ ලක්ෂ එකහමාරකට වැඩි හමුදාවක් ස්ථානගත කර තිබෙනවා. ඒ උතුරේ ඉඩම් අක්කර 65,000කයි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රමාණවත් බලතල අපට ලබාදී නැහැ. සියලු බලතල අයත්ව තිබෙන්නේ ආණ්ඩුකාරවරයාටයි.
මෙහි ව්‍යාපාරික අවස්ථා ලබාගෙන තිබෙන්නේ පිටස්තරයන් විසින්. විශේෂයෙන් ආරක්ෂක අංශ විසින් උතුරේ ධීවර කටයුතු පවා සිදු කිරීම නිසා අපේ ධීවරයන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. මේ කිසිවක් පාලනය කිරීමට අපට කිසිදු බලයක් ලැබී නැහැ.

මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතය උතුරේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
උතුරු-නැඟෙනහිර ඒකාබද්ධ වීම දෙමළ භාෂාව කතා කරනු ලබන මුස්ලිම් ජනතාවගේ සහයෝගයකින් තොරව සිදු වන්නක් නෙවෙයි. ඔවුන්ට වෙනම ඒකකයක් ලබාදීමෙන් පමණක් මෙය සාර්ථක වෙන්නේ. මින් ඉදිරියට කෙසේවත් මේ කාරණයේදී ඉන්දියාවේ මැදිහත් වීමක් සිදු නොවනු ඇති බව ඉතා පැහැදිලියි.
අප ජනතාව තනි රාජ්‍යයක් වෙනුවෙන් හඬනැඟීම නතර කළ යුතුයි. මෙමඟින් මධ්‍යම ආණ්ඩුව තවදුරටත් රළු බවට පත් කරනවා අප සමඟ නම්‍යශීලීව කටයුතු කිරීමට ඇති ඉඩ අහුරනවා. රජයේ, ආණ්ඩුවේ සහ සිංහල බහුතරයේ මතය වී ඇත්තේ අප උතුරු-නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමක් ඉල්ලා සිටීම දකින්නේ තනි රාජ්‍යයක් සඳහා කරනු ලබන කුමන්ත්‍රණයක් ලෙසයි.

අපි වෙනම රටක් ඉල්ලයි නම් අපට වෙනත් බලවත් රටවල අනුගාමිකයන් බවට පත්වීමට සිදුවේවි. එසේ වුවහොත් සිදු වන්නේ අමතක නොවුණු විරසකයන් අපගේ සිංහල සහෝදරයන් සමඟ ඇති වීමයි.
දෙමළ ජනතාවගේ අනාගතය, ආරක්ෂාව තීරණය කිරීමේ අයිතිය අපට තිබෙනවා.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon