‘මව්බිම’ අනාවැකිය සනාථ කරමින් ශ්‍රියානි මෛත්‍රි ළඟට ගිය හැටි

  👤  3781 readers have read this article !
By mawbima 2017-12-12

'කලකිරීමෙන් සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරිය කවුද?' යන අනු ශීර්ෂයක් යටතේ පසුගිය 08 වැනි සිකුරාදා 'ඕඩර් ප්ලීස්' ලිපියෙහි පළකළ වාර්තාව ඔබට මතක ඇත. දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා ගැටලුවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශි්‍රයානි විජේවික්‍රම මහත්මිය යම් කලකිරීමකින් සිටින බවත් ඇය යම් දේශපාලන තීන්දුවක් ගැනීමට වුවද පසුබට නොවන තත්ත්වයක සිටින බවත් ප්‍රථමයෙන්ම රටට යම් දේශපාලන අනාවැකියකින් කීවේ 'මව්බිම' පුවත්පතේ 'ඕඩර් ප්ලීස්' ලිපියෙනි.

එය පුවත්පතෙහි පළවී දින දෙකක් ගතවන විට පසුගිය ඉරිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී ශි්‍රයාණි විජේවික්‍රම ජනාධිපතිතුමාට සහාය ලබාදෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කිරීමටත් රට සංවර්ධන මාවතට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයා ගනු ලබන උත්සාහයට සහයෝගය දැක්වීමටත් කැමැති බව ප්‍රකාශ කර ඇත.
ශි්‍රයානි විජේවික්‍රම මන්ත්‍රිවරිය ජනාධිපතිවරයා හමුවූ පුවතට මාධ්‍ය මඟින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණද එම දේශපාලන අනාවැකිය මුලින්ම ප්‍රකාශ කෙළේ 'මව්බිම' පුවත්පතයි.
කොහොම නමුත් ශි්‍රයානි විජේවික්‍රම මහත්මිය ඊයේ (11දා) පාර්ලිමේන්තුවට පැමිණ සිටිනු දක්නට ලැබුණේ නැත. ඇය නැතිවුවද මන්ත්‍රිවරිය සම්බන්ධයෙන් යම් යම් කතාබස් මැති සබය තුළත් ඉන් පිටතත් සිදුවිය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පාර්ලිමේන්තුව රැස්වී න්‍යාය පත්‍රය අනුව වැඩකටයුතු සිදුකරගෙන ගියේය.
විපක්‍ෂයේ ඉදිරිපෙළ අසුනක ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අසුන්ගෙන සිටි අතර ආණ්ඩු පක්‍ෂයේ ඉදිරිපෙළ ආසනයේ සිටි අමාත්‍යවරුන් කිහිප දෙනකුම විමසා සිටියේ ශි්‍රයාණි විජේවික්‍රම මන්ත්‍රිවරිය ගැනයි.

'දිනේෂ් මන්ත්‍රිතුමා කට්ටියට මොකද වෙන්නේ' යනුවෙන් තරමක් උස් හ¾ඩින් විමසුවේ බුද්ධ ශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාය.
ගයන්ත කරුණාතිලක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග අමාත්‍යවරුන්ද යම් යම් දේවල් දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රකාශ කරන බවක් පෙනිණි.
එම ප්‍රකාශවලට සිනහ වෙමින් ප්‍රතිචාර දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා කිසිවක් ප්‍රකාශ කිරීමට ගියේ නැත.

'ආණ්ඩුවට එන ඕන කනෙක් අපි සාදරයෙන් පිළිගන්නවා' ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සඳහන් කෙළේය.

'ඔව්. ඔව්. අපේ ‍ෙදාරටු විවෘතයි' ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියා සිටියේය.
'ශි්‍රයානි විජේවික්‍රම මන්ත්‍රිතුමියට ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙමු' යනුවෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මහ හයියෙන් ප්‍රකාශ කරන ලද්දේ බඩ අල්ලාගෙන සිනහ සෙමින්ය. ඒ කතාවට ජෝන් අමරතුංග අමාත්‍යවරයාත්, ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාත් මහ හයියෙන් සිනහසුණහ.
ඊට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා යමක් ප්‍රකාශ කළ අතර මැති සබයේ පැවැති ඝෝෂාකාරී තත්ත්වය නිසා එය අපැහැදිලි වුවත් ඒ කතාවටද අමාත්‍යවරු සිනහසුණහ.
මේ අතර මහජන එක්සත් පෙරමුණට සම්බන්ධ තවත් ජනතා නියෝජිතයකු මැති සබයට පැමිණෙන විට ආණ්ඩු පක්‍ෂයේ ජනතා නියෝජිතයන් නැවත ප්‍රශ්න කරන්නට වූයේ ශි්‍රයානි විජේවික්‍රම මන්ත්‍රිවරිය සම්බන්ධයෙනි.

එසේ පැමිණියේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතාය.
'ආ.. සිසිර මන්ත්‍රිතුමා ඔයත් එන්න අපේ ආණ්ඩුව පැත්තට' යනුවෙන් පැවැසුවේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.
'රට පාවාදෙන දේශද්‍රෝහීන් එක්ක අපි එකතු වෙන්නේ නැහැ' යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතාය.
එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ඇතුළු පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ටිකක් අෑතින් අසුන්ගෙන සිටින සිසිර ජයකොඩි මන්ත්‍රිවරයාට සම් යම් දේවල් ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.

'මොකද? මන්ත්‍රිතුමා වෙලා තියෙන්නේ. ඔයත් යනවාද? දැන් ත්‍රිරෝදයෙන් එක් රෝදයක් ගැලවුණා. මොකද වෙන්නේ? යනුවෙන් විමසුවේ මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර්, මහාචාර්ය ආශු මාරසිංහ මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකි.

'අපට මුකුත් වෙන්නේ නැහැ. ඔය ගොල්ලන්ගේ ආණ්ඩුවට වෙන දේ බලාගෙන ඉන්න' යනුවෙන් සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ සිනහ වෙමින්ය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙහි බිම් මහලේ පුස්තකාලය අසලදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට මුණගැසුණේ විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාය.
'මොකද මේ ශි්‍රයාණි මන්ත්‍රිවරියගේ ප්‍රශ්නය' යනුවෙන් විමසමින් කතාවට මුල පිරුවේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාය.
පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුණා. නමුත් ඒක සාකච්ඡා කරලා විසඳගන්න තිබුණා. ඔහොම තීරණයක් ගන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. දේශපාලනය කරන කොට මීට වඩා ඉවසීම තිබිය යුතුයි.' යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

මේ අතර පාර්ලිමේන්තුවේ සභා නායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගෙන්ම ලැබුණේ ඉහළ සහතිකයකි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සමඟ කතාබස් කරමින් පැමිණි මෙම මන්ත්‍රිවරුන් කියා සිටියේ කිරිඇල්ල අමාත්‍යවරයා හොඳ ආදර්ශයක් සියලුම පාර්ලිමේන්තු නියෝජිතයන්ට ලබාදී තිබෙන බවයි.
මොකක්ද යනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විමසා සිටියේය.
'ඔබතුමා තමයි ප්‍රසිද්ධියේ මැති සබය තුළ වත්කම් හෙළි කරපු පළමු දේශපාලනඥයා. මුදල්, දේපොළ, වත්කම්, ඉඩකඩම් පරම්පරාවෙන් පැවැත එන බූදල්, මේ හැම දෙයක්ම ඔබතුමා ප්‍රකාශ කළා. හුඟ දෙනෙක් වත්කම් බැරකම් ප්‍රසිද්ධ නොකරන තත්ත්වයක් තුළ ඔබතුමා ප්‍රසිද්ධියේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම ඉතා හොඳ දෙයක්' යනුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ප්‍රකාශ කළහ.

'මං එහෙම ප්‍රකාශ කළ එකට අපේ නෝනා නම් ටිකක් බයවෙලා' යනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේ මඳක් සිනහාවෙමින්ය.
'ඒ මොකද?' එක් මන්ත්‍රිවරයකු විමසා සිටියේ මහත් කුතුහලයකිනි.
'ඔයා මේ දේපොළ ගැන කියලා දැන් හොරු එයි මේවා ගන්න කියලා නෝනා කිව්වා' කියමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියපු කතාවට සියල්ලෝම සිනහසුණහ.
'මං එතකොට නෝනට කිව්වා, බය වෙන්න එපා සේරම දේපොළ බැංකුවේ කියලා' යනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවැසුවේ සිනහසෙමින්ය.
ජාතික නිදහස් පෙරමුණේ නායක, ඒකාබද්ධ වික්‍ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාද ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ අර්බුදය ගැන මෙහිදී කිහිප දෙනෙක්ම විමල් වීරවංශ මන්ත්‍රිවරයාගෙන් විමසන්නට වූහ.
විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන විට ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් දිගින් දිගටම කෑකෝ ගැසීම් සිදුකරමින් බාධා කරන්නට විය.
'මන්ත්‍රිතුමා වීරකුමාර ගියේ ඇයි? නවත්තගන්න බැරි වුණාද? යනුවෙන් කෑගසමින් විමසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතාය.

'මෙතැන කෑගහන්න කලින් පක්‍ෂය බේරගන්න. අන්න කට්ටිය ශ්‍රී ලංකා එකට ගිහිල්ලාලු' යනුවෙන් කෑගසමින් කීවේ එක්සත් ජාතික පක්‍ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතාය.

ඒ කිසි එකකටවත් පිළිතුරු ලබානොදුන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා දිගටම තම කතාව කරගෙන ගියේය.
මේ අතර විමල් වීරවංශ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පිටත්ව යෑමට සූදානමින් පැමිණෙන විට බිම් මහලේ ආලින්දයේ සිටි කිහිපදෙනෙක්ම වීරවංශ මන්ත්‍රිවරයා ඉදිරියට පැමිණියහ.
වැඩිහිටි පිරිමි, කාන්තාවන්, තරුණ පිරිස් හා දරුවන් කිහිපදෙනෙක්ම එම පිරිසට අයත් වූහ.

'අපි ඔබතුමා හම්බ වෙන්නමයි හිටියේ' ආචාර කරමින් කතාවට මුල පිරුවේ මැදිවියේ මවකි.
ඊට ආචාර කරමින් ඉතා සුහදශීලීව ප්‍රතිචාර දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රිවරයා විමසුවේ 'මේ අම්මලාගේ ගම කොහේද?' කියාය.
'මන්ත්‍රිතුමා අපි කෑගල්ලේ. පසුගිය දවස්වල නුවර ඉඳලා කොළඹ ආපු පාද යාත්‍රාවට අපි කිහිපදෙනෙක්ම සහභාගි වුණා' යනුවෙන් එම කාන්තාව පැවැසුවාය.
'බොහොම හොඳයි. අන්න එහෙම තමයි මේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕන' යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ විමල් වීරවංශ මහතාය.
'ආණ්ඩුවට එරෙහිව තව පාද යාත්‍රාවක් යමු. දැන් ඒකට හොඳ කාලය. ආපසු යන්න අපිත් එනවා' එම මැදිවියේ මව විමල් වීරවංශ මන්ත්‍රිවරයාට ප්‍රකාශ කළාය.
'ඒ යෝජනාව නම් බොහොම හොඳයි. කියමින් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා එම පිරිසට සමුදුන්නේ එම පිරිස සමඟ සමූහ ඡායාරූපයකටද මුහුණ දෙමිනි.
මේ අතර ඊයේ සිදුවූ අපූරුතම සිදුවීමක් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීම විනාඩි දෙකකට පමණක් සීමා වීමය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ කල්තැබූ විවාදය පැවැත්වීම සඳහාය.
පෙ.ව. 11.30ට එය රැස්වීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතා විසින් ආණ්ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත් ජනතා නියෝජිතයන් රැසකගේ නම් ප්‍රකාශ කරන ලද්දේ විවාදයට එක්කර ගැනීම සඳහාය.

එස්.එම්. චන්ද්‍රසේන, මයන්ත දිසානායක, රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, අමාත්‍ය වජිර අබේවර්ධන, චතුර සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ලකී ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු ජනතා නියෝජිතයන් කිහිප දෙනකුගේම නම් ප්‍රකාශ කළද එම කිසිවකු ඒ අවස්ථාවේදී මැති සබය තුළ සිටියේ නැත.
එම නිසා පෙරවරු 11.30 සිට සවස 6.30 දක්වා ඊයේ දින පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීම විනාඩි 2කට පමණක් සීමා වීම බරපතළ කාරණයකි.
මේ අතර ඊයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට පෙර රීති ප්‍රශ්නයක් මතු කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වහාම විසුරුවා හැරිය යුතු බව ප්‍රකාශ කරමින් කතානායක කරු ජයසූරිය මහතාට යොමුකර තිබෙන ලිපිය ගැනය.'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවපු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ගරු කතානායකතුමාට ලිපියක් යොමුකරලා තියෙනවා. මේ ගැන ඔබතුමාගේ මතය දැනගන්න කැමැතියි යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා විසින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් විමසන ලදී.

'විජයදාස රාජපක්‍ෂ මහත්මයාම තමයි මේවා හැදුවේ' යනුවෙන් සභානායක, උසස් අධ්‍යාපන, මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ඒ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඊට විරෝධය එල්ල වන්නට විය.
'මේවට ලියුම් ලිය ලිය ඉඳලා හරියන්නේ නැහැ. මේ ගැන තමන්ට මතයක් තියෙනවා නම් ඒ ගැන පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න ඕන. එහෙම නැතිව ලියුම් ලිය ලිය ඉඳලා හරියන්නේ නැහැ' යනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ අවස්ථාවේදී පිටුපස ආසනයේ සිටි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යමක් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට ප්‍රකාශ කෙළේය.

'මෙන්න ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා කියනවා, කතානායකතුමන්ට ආදර හසුන් ලියලා හරියන්නේ නැහැ කියලා' යනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට කතානායක ඇතුළු සියල්ලෝම සිනහසුණහ.

'මං ආදර හසුන් භාරගන්නේ නැහැ' යනුවෙන් සිනහසෙමින් ප්‍රතිචාර දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා කියා සිටියේ විජයදාස රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම තමා පිළිනොගන්නා බවයි. ඒ බව විජයදාස රාජපක්‍ෂ මහතාට ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon