අපේ සටන තියෙන්නේ ශ්‍රීලනිපය සමඟ නොව එජාපය සමඟයි

  👤  4040 readers have read this article !
By mawbima 2017-12-12

කුණ්ඩසාලේ ඩබ්ලිව්. අලුගොල්ල

"මම රනිල් වික්‍රමසිංහ සමඟ කිසිම ඩීල් එකක් නැහැ. ඔහු සමඟ කිසිම ඩීල් එකක් දමන්න මට බැහැ. අපේ සටන තිබෙන්නේ එ.ජා.ප.ය සමඟයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ අපිට එකතුවීම ගැටලුවක් නැහැ. ආණ්ඩුවේ ඉඳගෙන ශ්‍රීලනිපය යම්කිසි ගිවිසුමක් ගැහැව්වොත් අපිත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයන් වෙනවා ඒකයි අපිට තිබෙන ගැටලුව.

හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉහත ප්‍රකාශ කළේය.
ඔහු මේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (11දා) පෙරුවරුවේ මැණික්හින්න හුරිකඬුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනට පැමිණ මහ නාහිමියන් වෙත සුබාසිංසන එක් කරමිනි.
මහ නාහිමියන්ගේ 96 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය නොවැම්බර් 30දායි.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීය.
අපේ කාලයේ හිටපු හොරු ටික මේ ආණ්ඩුවට ගිහිල්ලා ඒ කට්ටිය තමයි ඔය කියන්නේ. එහෙම හිතාගෙන ඉන්න අය. මම රනිල් වික්‍රමසිංහ සමඟ කිසිම ඩීල් එකක් නැහැ. කිසිම ඩීල් එකක් දාන්න මට බැහැ. අපි කියන්නෙත් ඒකයි. මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා එන්න කියා. රනිල්ගෙන් ඉවත් වෙලා එන්න. එතකොට අපි පිළිගන්නවා. අපේ සටන තිබෙන්නේ එ.ජා. පක්‍ෂය සමඟයි. මේ මුළු සටනම තිබෙන්නේ එ.ජා. පක්‍ෂය සමඟයි. මෙම මැතිවරණයේදී ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් සටන් කරන්නේ එ.ජා.පක්‍ෂය පරාජය කරන්නයි ආණ්ඩුවට විරුද්ධවයි.

කවුද වගකියන්නේ මේ රටේ සම්පත් විකුණන එකට. සම්පත් විකිණීමේ සම්පූර්ණ වගකීම ගන්න ඕන ඒ අයයි. මැතිවරණය කල් දැම්මේ ඒ අයයි.
ජීවන වියදම ඉහළ නැඟලා. ඊයේ මාතර පොළේ පොල් ගෙඩියක් රුපියල් එකසිය තිහයි කියා මට කීවා. ඒක තමයි ඇත්ත කතාව. මේ රටේ ජීවන වියදම වැඩිවෙලා විරැකියාව වැඩිවෙලා.

උපාධිධාරීන්ට රැකියා නැහැ. සංවර්ධනයක් වෙන්නේ නැහැ. හැබැයි කියනවා රටේ සංවර්ධනයක් වුණා කියා.
මුළු රටේම ආණ්ඩු කිසිවක් නොකරපු වැඩ කළා කියනවා. එතකොට මතක් වෙන්නේ අර රජ්ජුරුවොන්ගේ ඇඳුම වගේ.
අද රටේ සම්පත් විකුණාගෙන යනවා. ඒවාට විරුද්ධව සටන් කරනවා. සම්පත් වික්කා වැරදියි කියලා අපි කියන්නේ.
අපේ ආණ්ඩුවෙන් කිසි දෙයක් විකුණුවේ නැහැ. විකුණපු දේවල් අපි ගත්තා. පිටරටට විකුණ­ූ ඒවා අපි ගත්තා.
ශ්‍රී ලංකා එයාර් ලයින් එක ගත්තා. ඉන්ෂුවරන්ස් ගත්තා. ගෑස් ගත්තා. මොනවද නොගත්තේ. ගන්න පුළුවන් හැම දෙයම ගත්තා.
හිල්ටන් හෝටලය ආපසු ගත්තා. ටෙලිකොම් ගත්තා.

ඒකයි අපිට තිබෙන ගැටලුව. ශ්‍රී ල.නි.පක්‍ෂය සමඟ කිසිම ගැටලුවක් නැහැ. අපි ශ්‍රී ල.නි. පාක්‍ෂිකයන් වශයෙන් අදත් අපි කියන්නේ ඒකයි. මේ වසර තුන ආණ්ඩුව කරපු ක්‍රියාවලියට විරුද්ධවයි අපි ඉන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon