සතුරා ළඟ දණින් නොවැටුණු නිසා විමල්ගෙන් පළිගන්නයි මේ හදන්නේ

  👤  3701 readers have read this article !
By mawbima 2017-12-12

හර්ෂනී අර්සකුලරත්න

කැබිනට් ඇමැති ධුර හෝ කෝටි ප්‍රකෝටි මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිරකුටි තුළ දමමින් ගෙන එන මර්දනය හමුවේ ගොඩනැඟූ මහින්දවාදී රට රකින ජන පවුර කිසිදා හැර නොයන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර පවසයි.
ඔහු මේ බව පැවැසුවේ පසුගියදා (9දා) පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී නියෝජ්‍ය නායකවරයා මෙසේද පැවැසීය.

"ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතාටත් නායක මණ්ඩලයටත් එරෙහිව දැවැන්ත අවලාද මෙහෙයුමක් මේ දිනවල දියත් වෙමින් තිබෙනවා. එසේ වන්නට හේතුව කුමක්ද යන්න විමසා බැලිය යුතුයි. 2015 ජනවාරි 8දායින් පසුව රටේ ඇති වූයේ සුවිශේෂී තත්ත්වයක්.

එක පැත්තකින් දෙමළ ඩයස් පෝරාවේ සහ ජාත්‍යන්තර බලවේගවල වුවමනාවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් සැකසෙමින් තියෙනවා. තවත් පැත්තකින් ජිනීවා යෝජනාවලිය අනුව රණවිරුවන් යුද අපරාධ දංගෙඩියට ගෙනියන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් තිබෙනවා. දැනටමත් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවා තිබෙනවා.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ප්‍රඥප්තියට අස්සන් තබා එය අපේ නීති පද්ධතියට ඇතුළත් කිරීමට හදනවා. හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව විදෙස් අධිකරණයක නඩු පවරා තිබෙනවා. බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් සිරගත කර තිබෙනවා.

ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වී මාස 2ක් ගතවීමටත් පෙර මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා. මහ මොළකරු ඇතුළු සියලු හොරු දැන් අනාවරණය වී තිබුණත් ඒවා යටගහනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන පම්පෝරි ගැහුවට මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා. මැතිවරණ සිතියම හකුළමින් සිටිනවා. මේ මොහොතේ රටට හිතැති සියලු බලවේගවල වගකීම වී ඇත්තේ ඉහත ලෙස රට වළපල්ලට අරගෙන යෑමට ඉඩ දෙනවාද නැද්ද යන්නට පිළිතුරු ලබා දෙන ජනමත විචාරණයක් බවට මෙවර පළාත් පාලන මැතිවරණය පත් කර ගැනීමයි.

මේ ආණ්ඩුවත් එහි බටහිර හාම්පුත්තුත් ඉහත කී ජනමත විචාරණය පරදින්න සූදානම් නැහැ. ඔවුන් දන්නවා, මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන සාධකය වටා ඒකරාශී වී සිටින දේශපාලන බලවේග, ජන පවුර විනාශ කිරීමෙන් තොරව, ඒවා සීසීකඩ කිරීමෙන් තොරව තමන්ට දිනන්න බැහැ කියලා. අන්න ඒ අනුව සතුරා සැරසෙනවා, අද ඒ දේශපාලන බලවේග, ජන පවුර විනාශ කිරීමට. 2015 ජනවාරි 8දා සතුරා කෙසේ හෝ කුමන්ත්‍රණය කර මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන සාධකය මේ රටේ දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වීම නතර කළා. නමුත් 2015 පෙබරවාරි 18දා නුගේගොඩින් ඇරැඹි "මහින්ද සුළඟත්" සමඟින් ඉහත කී මේ රට රකින ජන පවුර ගොඩනැඟුණා. ඒ සඳහා පුරෝගාමී වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ දිනේෂ්, වාසු, උදය යන රටට ආදරය කරන දේශපාලන නායකත්වයයි. ඒ නිසා අද සතුරාගේ ප්‍රධාන ඉලක්කය බවට පත්වී ඇත්තේ ඉහත කී ජන පවුර ගොඩනැඟීමට මුල් වූ විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණයි.

මඳක් සිතා බලන්න. වරදාන, වරප්‍රසාදවලින් නමා ගන්න බැරි වුණාම විමල් වීරවංශ මහතාගේ ආදරණීය බිරිය, සහෝදරයා හිරේ දමලා මට්ටු කරන්න බැලුවා. එහෙම බැරි වුණාම අපේ පක්ෂයේ නායකයන් ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුස්ම්මිල් මා ඇතුළු පිරිසක් හිරේ දැම්මා. අවසානයේ විමල් වීරවංශ මහතා අභුත චෝදනා නඟා දින 87ක් හිරේ තැබුවා. මේ සියල්ලටම අපි ශක්තිමත්ව මුහුණ දුන්නා. සතුරා හමුවේ දණින් වැටුණේ නැහැ. දිනෙන් දින මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලන සාධකය වටා රට රකින ජන පවුර ගොඩනඟන්න කැපවුණා.

අවසානයේ තම සියලු සැලසුම් අසාර්ථක වුණාට පස්සේ සතුරා අපේ පක්ෂය ඇතුළතින්ම අපට "සතුරෝ" හදන්න තීරණය කර තිබෙනවා. ඒ අනුව අපේ පක්ෂය ඇතැම් දුර්වල සහෝදරවරු ඒ පැත්තට අරගෙන දැවැන්ත අවලාද ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. ඒ අතරේ "විමල් වීරවංශයන් ශ්‍රී ලනිපයට යයි, නිරෝෂන් ප්‍රේමරත්න එජාපයට යයි, පද්ම උදය ශාන්ත ගුණසේකරත් යන්න හදනවා" කියා කට කතා හදනවා. "බලන්න ජයන්ත සමරවීරත් විමල් අතහැර යයි කියා එක්තරා ජාතික පුවත්පතක සඳහන්ව තිබෙනවා. විමල් වීරවංශ සහෝදරයා මේ අවස්ථාවේ සිටින්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මෙතන සිටින අප තිදෙනා ඔහුත් සමඟ අවධාරණය කරනවා, ජාතික නිදහස් පෙරමුණට කුමන්ත්‍රණ, සතුරාගේ ප්‍රහාරය ආගන්තුක දේවල් නෙවෙයි. අපි ජවිපෙන් ඉවත් වීම ඇතුළු සියලු දේශපාලන තීරණ ගත්තේ මේ මවු පොළොවට අසීමිතව ආදරය කරන නිසයි. අද සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ රට රකින ජාතිකවාදී ජන පවුර දුර්වල කිරීමේ මෙහෙයුමයි. කැබිනට් අමාත්‍ය ධුර අපි සියලු දෙනාටම ලබා දෙන්න කතා කළත් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් දෙන්න කතා කළත් ඒ වරදාන, වරප්‍රසාදවලට අපි සියලු දෙනා නැමෙන්නේ නැහැ. අඩි 100ක් ගැඹුරු බිම් ගෙයක දමා සිරගත කළත් අපි සතුරා ඉදිරියේ හිස නමන්නේ නැහැ" කියා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon