කුඩා දියණියව තමන්ගෙන් වෙන් කළැයි පියා ගහකට නැඟ විරෝධය පාලා

  👤  3182 readers have read this article !
By mawbima 2017-12-13

පරිවාස නිලධාරීන් හා පොලිසිය එක්වී අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තම කුඩා දියණිය තමන්ගෙන් වෙන්කර ඇතැයි කියන සිද්ධියකට විරෝධය පා ඊයේ (12දා) පෙ.ව. 8.00 පමණ පොළොන්නරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඇති විශාල කෝං ගසක් උඩට නැඟ පුද්ගලයකු විරෝධතාවක් පළ කළේය.

අඩි 25ක් පමණ උසකට නැඟ මෙසේ විරෝධය පළ කර ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය පවසන අන්දමට මේ පුද්ගලයාගේ විවාහක බිරිය දරුවන් හා සැමියා අතහැර ගොස් ඇති අතර නිසි රැකියාවක්ද නොමැතිකම නිසා කොටදෙණියාව පොලිසිය විසින් වයස අවුරුදු නවයක කුඩා දැරියගේ අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන පරිවාස නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ දැරිය පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශයේ ඔහුගේ වැඩිමහල් පුතා භාරයට පත්කොට පොළොන්නරුවේ පාසලකට ඇතුළත් කර අධ්‍යාපනය ලබාදීමට පියවර ගෙන ඇත. මෙම පුද්ගලයා සමඟ සිටීමට එම කුඩා දියණියද අකැමැති නිසා දියණිය වැඩිමල් සහෝදරයා ළඟ රඳවා ඇත. පසුව පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මඟින් නැවත කුඩා දියණියගේ භාරකාරත්වය වැඩිමහල් පුතා සහ එම වැඩිමහල් පුතාගේ බිරිය වෙත පවරා ඇත.

ඊට විරෝධය පළ කරමින් මෙම පුද්ගලයා ඊයේ (12දා) උදෑසන මෙම කෝං ගසට නැඟ තිබේ. පසුව පොලිසිය හා පරිවාස නිලධාරීන් එක්ව මෙම පුද්ගලයා ගහෙන් බස්සවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. පින්තූරවල දැක්වෙන්නේ එම පුද්ගලයා ගස මත විරෝධතාවේ යෙදී සිටින අන්දමයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූ.පො.ප. එම්.එස්.එම්. ජරූල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පොළොන්නරුවේ - බණ්ඩාර මුදියන්සේ ,හිඟුරක්ගොඩ - ප්‍රියා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon