හම්බන්තොට ගුවන් පාලම් දෙකේ විදුලි රැහැන් පද්ධති කපාගෙන ගිහින්

  👤  3109 readers have read this article !
By mawbima 2017-12-13

තිස්සමහාරාම - රෝෂන් රාජිත

හම්බන්තොට ගුවන් පාලම් දෙකේ සවිකර තිබූ විදුලි රැහැන් පද්ධති කපා ගෙන ගොස් රැහැන්වල ඇති තඹ ලබා ගැනීම සඳහා රැහැන් හම්බන්තොට කටුවැව කැලයේ පිරිසක් පුලුස්සමින් සිටින බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ස්ථානය ඊයේ (12දා) වැටලීමකට ලක් කර ඇත.
වනජීවී නිලධාරීන් එම ස්ථානයට යන විට කපා ගෙන ඇති විශාල රැහැන් ප්‍රමාණයක් පුලුස්සමින් සිටි අතර එහි සිටි පුද්ගලයන් දෙදෙනකු පලා ගිය බව වනජීවී නිලධාරීහු පවසති. සිද්ධිය සම්බන්ධව හම්බන්තොට මූලස්ථාන පොලිසියටද දැනුම් දීමෙන් පසු පොලිසියද එම ස්ථානයට ගොස් පරීක්ෂණ ඇරැඹීය. සිද්ධියට සම්බන්ධ එහි සිටි එක් පුද්ගලයෙක් සතුව තිබූ මුදල් පසුම්බිය එම ස්ථානයේ දමා ගොස් තිබියදී එය පොලිස් භාරයට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී එහි තිබූ ජාතික හැඳුනුම්පතට අනුව සැකකරු බැරගම අරවනමුල්ල පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. කපා ගෙන ගොස් තිබූ විදුලි රැහැන් කොටස් හා පුලුස්සා ලබාගත් තඹ කොටස්ද පොලිස් භාරයට ගෙන ඇත.
හම්බන්තොට ගුවන් පාලම් දෙක වන සිරිබෝපුර සහ කටුවැව ස්ථානවල මාර්ගයේ රාත්‍රි කාලයේ සියලු වීදි ලාම්පු ක්‍රියාත්මක නොවන්නේ මෙලෙස නීති විරෝධී ලෙස රැහැන් පද්ධති කපා ගෙන යෑම නිසා බව හෙළි වී ඇත.

මේ සම්බන්ධව හම්බන්තොට මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉන්ජිනේරුවරයාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ගුවන් පාලම් දෙකේ සහ අවට මාර්ග පද්ධතියේ පසුගිය කාලයේ මෙලෙස විදුලි රැහැන් කපා ගෙන යෑම දිගින් දිගටම සිදු වී ඇති බවයි.
හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරි ජේ.ඒ.පී. විජයකුමාර මහතාගේ මූලිකත්වයෙන් වන සත්ත්ව නියාමකවරුන් වන දිමුතු මංජුල, අනුරාධ සම්පත්, දිමුතු ප්‍රසන්න, ටී.එච්. ජෙයිනුඩීන්, රියැදුරු රත්න දේප්‍රිය යන මහත්වරු මේ වැටලීම සඳහා සහභාගි වූහ.

හම්බන්තොට මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අබේසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂන ක්‍රියාත්මක කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon