ගල්ගමුවේ තනි දළයා අල්ලන තෙවැනි මෙහෙයුම අද අරඹයි

  👤  3152 readers have read this article !
By mawbima 2017-12-13

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

ගල්ගමුව ඇතුළු බොහෝ ප්‍රදේශවල ඉතාමත් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් මිනිස් ජීවිතවලටද දැඩි තර්ජනයක් වූ 'ගල්ගමුවේ තනි දළා' නම් ඇතා අල්ලා ගල්ගමුව ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම් කටයුතු අද (13දා) සිට ආරම්භ කරන බව ගල්ගමුව වනජීවී කාර්යාලය සඳහන් කරයි.
ගල්ගමුව ප්‍රදේශය වාස භූමිය කරගෙන ජීවත් වන මේ තනි දළා නම් ඇතා තරමක දඩබ්බර ගතියකින් යුතු සත්ත්වයෙක් වීම නිසා පසුගිය කාලයේදී නිවාස කිහිපයකටද හානි කළ අතර වගා පාළු කිරීම්ද විශාල වශයෙන් සිදු කර තිබීම හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ. ඒ අනුව මේ ඇතා අනුරාධපුර, හොරොව්පොතාන ප්‍රදේශයේ ඇති වන අලි රැඳවුම්ගාරය වෙත රැගෙන යෑමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ.
මෙයට පෙරද අවස්ථා දෙකකදී මේ ඇතා වනජීවී නිලධාරීන් විසින් අල්ලා සෝමාවතිය හා හොරොව්පතාන ප්‍රදේශවල ඇති අලි රැඳවුම්ගාර වෙත රැගෙන ගොස් දැම්මද ඒවායින් මිදී ආපසු පැමිණ තිබේ.


මේ වන විට ගල්ගමුව වනජීවී කලාපයට අයත් මකුලෑව ප්‍රදේශයේ මේ ඇතා සැරිසරන අතර එම ප්‍රදේශයෙන් මේ ඇතා ඇල්ලීමේ කටයුතු ආරම්භ කිරීමට නිලධාරීන් කටයුතු යොදා තිබේ. ඒ අනුව ඊට අදාළ මූලික පියවර ඊයේ (12දා) ඇඹෝගම ප්‍රදේශයෙන් ආරම්භ කළ අතර මේ සඳහා ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්, වයඹ වනජීවී කලාපයේ නිලධාරීන්, පශු වෛද්‍ය නිලධාරීන් දෙපළක් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන අලි අල්ලා ඉවත් කිරීමේ නිලධාරීන් ඇතුළු 18 දෙනකුගෙන් සැදුම්ලත් නිලධාරි කණ්ඩායමක් යොදවා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon