ථෙරවාදී බුදුදහම ආරක්‍ෂා වුණේ ලංකාවේ බෞද්ධයන් නිසයි

  👤  3113 readers have read this article !
By mawbima 2017-12-13

රට තුළ ථෙරවාදී බුදුදහම වර්ධනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ථෙරවාදී බුදුදහම මේ රටේ වැඩි දියුණු කිරීම අපේ යුතුකම. ථෙරවාදී බුදුදහම යුරෝපය, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල තවදුරටත් ව්‍යාප්ත කිරීමට බුදු දහම අදහන සෙසු රටවල් සමඟ එක්වී කටයුතු කළ යුතුයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ පසුගිය දින පන්නිපිටිය පැලැන්වත්ත සත් බුදු විහාරයේ ඉදිකළ ශ්‍රී මත් අනගාරික ධර්මපාල මහා සෑ රදුන් විවෘත කිරීමේ පුණේ‍යා්ත්සවයට සහභාගි වෙමිනි.
එහිදී අගමැතිවරයා මෙසේද පැවැසීය.

මේ විහාරස්ථානයට පැමිණ චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ සමඟම පැලැන්වත්ත සම්බුදු විහාරයේ නායක ස්වාමින් වහන්සේ වන සෝරත ස්වාමින් වහන්සේගේ 70 වැනි උපන් දිනයත් අදට යෙදී තිබෙනවා. එසේ නම් එම වැදගත් සිදුවීම් දෙකම එකම දිනකට යෙදීම සුවිශේෂී සිදුවීමක් බව කිව යුතුයි.
මේ විහාරස්ථානය නිර්මාණය කළේ සෝරත ස්වාමින් වහන්සේයි. මම අවුරුදු 60කට පමණ පෙර පන්නිපිටිය ප්‍රදේශයට පැමිණෙන විට මෙහි තිබුණේ පොල්වතු පමණයි. අවුරුදු 40කට පමණ පෙරත් ඒ වගේමයි. 1973, 1974 පමණ වන විටත් බොරලැස්ගමුව, පිළියන්දල ප්‍රදේශවලින් පසු කිසිදු දියුණුවක් ඇති ප්‍රදේශයක් මෙහි තිබුණේ නැහැ. නමුත් 1980න් පසු මෙම ප්‍රදේශය විශාල ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත්වී තිබෙනවා. විශේෂයෙන් කොළඹට පිටින් පැමිණි ජනතාව කොළඹ අවට ජනාවාස ඉදිකර ගැනීම හරහා මෙම ජනාකීර්ණ තත්ත්වය ඇති වුණා. එදා සෝරත ස්වාමින් වහන්සේ ඒ ප්‍රදේශයට විශාල සේවාවක් කළා. ඒ කළ සේවය නැවත සිහිපත් කරවමින් ඒ වෙනුවෙන් උන්වහන්සේට පින් අනුමෝදන් කළ යුතුයි.

උන්වහන්සේ පොල් වත්තක්, කුඩා කැලයක් සහිත මේ ප්‍රදේශයට පැමිණ කුඩා පැලක් හදාගෙන ධර්ම ප්‍රචාරණ කටයුතුවල යෙදීම විශාල සටනක් ලෙසයි මා දකින්නේ.
අපේ ස්වාමින් වහන්සේ ඉතා ක්‍රමානුකූලව මෙම විහාරස්ථානය දියුණු කළා. මෙම ප්‍රදේශයේ බෞද්ධ කටයුතු සඳහා මූලස්ථානයක් ඇති කළා.
මේ වැඩකටයුතු සඳහා ආධාර උපකාර කරන්නේ මේ ප්‍රදේශයේම ජනතාවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට පළමුවෙන්ම මහා සංඝරත්නය ගම්දනව් ඔස්සේ යමින් ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු කළා. නමුත් ජනගහනය වැඩි වනවිට ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා ස්ථිර ස්ථානයක් අවශ්‍ය වුණා. ඒ හරහා විහාරස්ථාන, පිරිවෙන් ඇති වුණා.

ගංගානම් ගං නිම්නයේ සැරිසරමින් බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කරමින් ශත වර්ෂයක් ගත වීමටත් පෙර එම ප්‍රදේශවල විහාරස්ථාන ඉදිවන තත්ත්වයක් නිර්මාණය වුණා. නමුත් බුදුදහම එම ප්‍රදේශවලින් නැතිවී යන විට එම විහාරස්ථාන නටබුන් බවට පත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුණු පසු අපේ ජනතාව බුදුදහම වැලඳගත්තා. ශ්‍රී ලංකාව තුළ ථෙරවාදී බුදුදහම පදනම් වුණා. ජේතවනාරාමය, අභයගිරිය ආදී රාජ්‍ය අනුග්‍රහය ඇති වෙහෙර විහාර පිරිවෙන් ඇති වුණා. අවසානයේ මහසෙන් රජතුමාත් ජනතාවගේ කැමැත්ත ථෙරවාදී බුදුදහමට බව අවබෝධ කර ගනිමින් ඉදිරියට කටයුතු කළා. එදා රජරට ජනාවාස අවට මෙම විහාරස්ථාන ඉදි වුණා.

නමුත් රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව ජනාවාස බිහිවීම තෙත් කලාපයට ව්‍යාප්ත වුණා. එවිට තෙත් කලාපය තුළත් ජනතාවගේ සහයෝගයෙන් වෙහෙර විහාර ඇති වුණා. එදා කාලිංඝ මාඝ හෝ පහතරට පෘතුගීසි පාලනය කෙතරම් ජනතාවට කෘෘර වුවත් ජනතාව තමන් අදහන ධර්මය ප්‍රතික්‍ෂේප කළේ නැහැ. එම ධර්මයත් සමඟ කටයුතු කළා. පෘතුගීසි පාලනය අවසන් වූ විට සිංහල බෞද්ධ ජනතාව ආගමට දහමට වැඩි වශයෙන් නැඹුරු වුණා. ඒ ආකාරයට බුදු දහම ආරක්ෂා කිරීමට සිංහල, බෞද්ධ ජනතාවට හැකි වුණා.

19 වැනි ශතවර්ෂයේ සිට නව ප්‍රබෝධයක් බුදු දහමේ ඇති වුණා. බුදුදහම අද දක්වා ඉදිරියට පවතින්නේ එම ප්‍රබෝධය මතයි. එක් කාලයක ඉන්දියාවේ සම්පූර්ණ බුදුදහම හානි වූ විට එය ආරක්ෂා වුණේ ශ්‍රී ලංකාවේ පමණයි. රජරට පොළොන්නරුව රාජධානි සමයේ මියන්මාරයට, සියම් දේශයට, කාම්බෝජයට, ලාඕසයට, වියට්නාමයට ථෙරවාදී බුදුදහම පැතිරවීමේ හැකියාව අපට ලැබුණා. ථෙරවාදී බුදුදහම ආරක්ෂා වූයේ එම නිසායි. දකුණු ආසියාවේ සිංහල ජනතාව වන ශ්‍රී ලාංකිකයන් ථෙරවාදී බුදුදහම ආරක්ෂා කළ නිසා වර්තමානයේ අග්නිදිග ආසියාව පුරා එය ව්‍යාප්ත වී තිබෙනවා. වර්තමානය වනවිට යුරෝපීය ජනතාවත් ථෙරවාදී බුදු දහමට නැඹුරු වෙමින් සිටින බව කිව යුතුයි.
එසේ නම් ථෙරවාදී බුදුදහම මේ රටේ වර්ධනය කිරීම රජයක් ලෙස අපේ යුතුකම වෙනවා. එමෙන්ම බුදු දහම අදහන අනෙක් රටවල් සමඟ එකතු වෙමින් ථෙරවාදී බුදුදහම යුරෝපය, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල තවදුරටත් ව්‍යාප්ත කිරිමටද අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ධර්ම ප්‍රචාරණ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. මේ සියලු කටයුතු කිරීමට හැකිවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සිංහල, බෞද්ධ ජනතාව ථෙරවාදී බුදුදහම ආරක්ෂා කළ නිසයි. අතීතයේ ශ්‍රී ලාංකේය ජනතාව එය සිදු නොකළා නම් අද වනවිට බුදුදහම විනාශ වී යන්නට ඉඩ තිබුණා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon