ජනතාව මී හරක් නොවන බව පුංචි ඡන්දයේදී ඔප්පු කළ යුතුයි

  👤  3338 readers have read this article !
By mawbima 2017-12-13

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී රටට මිතුරු පිරිස් සහ රටට හතුරු පිරිස් හඳුනා ගත හැකි යැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (12දා) කොළඹදී පැවැති 'එළිය' සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවේදීය.
එම මාධ්‍ය සාකච්ඡාවේදී ස්වාමින් වහන්සේ මෙසේද පැවැසූහ.

ව්‍යවස්ථා ක්‍රියාවලිය අවසන් වී නෑ. ඒක දිගටම සිදුවෙනවා. එළිය සංවිධානය එහි බරපතළකම රටටම එළිකරනවා. පසුගිය දිනවල අපි එම කටයුතු සිදුකළා. මෙය හකුළා ගත යුතුයි කියන තැන මහානායක ස්වාමින් වහන්සේලා පවා මේ වන විට ඉදිරියට ඇවිත් සිටිනවා. ජාතික දේපොළ විකිණීමට එරෙහිව සියලු පාර්ශ්වයන් එක්ව සිටගත්තා. රටම ඒ වෙනුවෙන් පෙනී සිටියා. නමුත් හම්බන්තොට වරාය උකස් කරලා ඒක ආඩම්බරයක් විදියට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා.
යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ජීවිතය කැපකළ නිලධාරීන්ට මේ වන විට විශාල තර්ජන එල්ල වී තිබෙනවා. ඔවුන්ව අපහසුතාවට පත් කිරීමේ මේ ක්‍රියාවලිය ඉතාම නින්දිත ක්‍රියාවලියක්. මේ දේවල් නිසා මේ රටේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියත් නැති වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්‍ෂයට එකතු වෙන්න නෙවේ. ජනතාව මේ ගැන විමසිල්ලෙන් ඉන්නේ. යූ.එන්.පී.ය ගැන මේ රටම දන්නවා. ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරු කරන්නේ දේශද්‍රෝහී ක්‍රියාවක්. ඔවුන් සමඟ එකතු වෙන්න මහින්ද රාජපක්‍ෂ මහතා සූදානම් නැහැ. නමුත් ඔවුන් කැප්පෙටිපොළ භූමිකාව රඟ දැක්වූවොත් ජාතික ප්‍රතිපත්තියකට ඒ වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්.

යූ.එන්.පී.ය එදා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලයි කිව්වේ. ඔවුන් පිළිබඳ රටම දන්නවා. ඔළුගෙඩි ටිකක් එකතුවීම නෙවෙයි අපි කියන්නේ. එය ජනතා අපේක්‍ෂාවන් බිඳ දැමීමක්. පොදු විපක්‍ෂයට අපි කියන්නේ කළු සුදු අකුරෙන් ලියා සම්මුතියකට එන්න ඕනේ මේ රට විනාශ කරන්නෙ නැහැ කියලා. පසුගිය කාලේ අපේ රටේ මිනිස්සුන්ට මවපු සුරංගනා ලෝක දැන් බිඳ වැටිලා තිබෙන්නේ. අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර් ලෙවකන ජාතියක් විදියට නොවේ, ඊට වෙනස් ලෙස සිතන ජාතියක් ලෙස රට ඉදිරියට ගෙන යෑමට එළිය සංවිධානය කටයුතු කරනවා.

අප ඉදිරියේ තිබෙන්නේ නාම යෝජනා පිළිබඳ ගැටලුවක් නොවේ. ජාතික ප්‍රශ්නයක්. එක එක්කෙනාගේ රස්සාවල් ගැන අපිට වැඩක් නැහැ. මහජනතාව මී හරක් නොවේ කියලා ඉදිරි මැතිවරණයේදී ඔප්පු කළ යුතුයි.

රටට හතුරු සහ රටට මිතුරු පිරිස්වලට ඡන්දය දෙන්න පුළුවන් මේ ඡන්දයේදී. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ ආණ්ඩුවමයි. ඔවුනුත් මේ ආණ්ඩුව පත් කරන්නට කටයුතු කළා. දැන් ඔවුන් බොරදියේ මාළු බානවා. ඔවුන් කියනවා දෙගොල්ලන්ටම දෙන්න එපා අපිට දෙන්න කියලා. නමුත් ඔවුන් රටට ද්‍රෝහී කමක් කළේ. රටේ ජාතික දේපොළ විකුණන විට ඔවුන් මොනවාද කළේ. ඔවුන් මේ කරන දෙය රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා: එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතුවී හවුල් ආණ්ඩුවක් කරන්නට ශ්‍රී ල.නි.ප.යට බලයක් ලබාදී නැහැ. මේ රටේ ජනතාව ඒ වගේම ව්‍යවස්ථාව වෙනස් කරන්නටත් බලයක් ලබාදී නැහැ. දරුස්මාන් වාර්තාව නිසයි අපිට යුද අපරාධ චෝදනා එල්ල වුණේ. එම යෝජනා ඉවත් කරගන්නට මෙම ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය වැඩයි. රණවිරුවා හා රට පාවාදීමේ නින්දිත ක්‍රියාවලියෙයි මේ ආණ්ඩුව මේ වන විට නිරතවී සිටින්නේ.
මේ මැතිවරණය ආණ්ඩුවට විරුද්ධව තියන ජනමත විචාරණයක් විදියට ජනතාව පාවිච්චි කළ යුතුයි. රට බේරා ගැනීම වෙනුවෙන් ජනතාව ඉදිරියට ආ යුතුයි. මේ ආණ්ඩුවට විරුද්ධව ඔවුන් ඡන්දය පාවිච්චි කළ යුතුයි. කෝටි ගණන් මුදල් හම්බ වෙන නිසයි දැන් මේ අය පක්‍ෂ මාරු කරන්නේ.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon