අගමැති වරාය බදු දීලා චෙක් එක ගත්තෙ කෝලි කප් එක ගත්තා වගේ

  👤  2959 readers have read this article !
By mawbima 2017-12-13

මෙවර පළාත් පාලන මැතිවරණයට දේශපාලන ක්‍රියාකාරී ඉදිරිපත් වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණින් පමණක් බව එහි නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසයි.

ග්‍රාමීය වශයෙන් සෑම නිවෙසකටම පණිවුඩය ගෙනයන දැවැන්ත දේශපාලන සංවාදය ඉදිරි දින කිහිපය තුළ අරඹන බවත් යල් පැනගිය බංකොලොත් දේශපාලනය වෙනුවට නව දේශපාලන අත්දැකීමක් ලබා ගැනීමට ජවිපෙ සමඟ එක්වන ලෙසත් මන්ත්‍රිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු මෙසේද පැවැසීය.
"මෙවර ඡන්දෙටත් මෛත්‍රිපාල ජනාධිපතිගේ මාතෘකාව බණ්ඩාරනායක මහත්තයා ගොඩනඟපු පක්ෂය කඩන්න දෙන්න එපා කියන අඬවැඩියාව. රනිල් වික්‍රමසිංහ අගමැතිගේ සටන් පාඨය රට හැදුවා වගේ ගම හදන්න ඡන්දය දෙන්න කියන එක. මහ බැංකුවට අත තියපු මේ අය ගමේ සංවර්ධන බැංකුවට හරි අත තියනවා. හම්බන්තොට වරායට අත තියපු අය අඩුම තරමේ ගමේ වැව හරි විකුණන්න හදයි. රාජපක්ෂ කණ්ඩායම කියයි රට දෙකඩ නොවෙන්න නම් මහින්ද මහත්තයට බලය දෙන්න කියලා. හොරකම්, මැරකම් වංචා කරපු රාජපක්ෂලාට පුළුවන්ද රට සංවර්ධනය කරනවා කියලා පොරොන්දු වෙන්න?

රටේ අගමැති හම්බන්තොට වරාය චීනෙට බදු දීලා ඒක මිලියන 300ක චෙක් එක ගන්නේ කෝලි ද්විත්ව ශතකය ගහලා කප් එක ගත්තා වගේ ආඩම්බරයකින්. මෙහෙම අයද ගම සංවර්ධනය කරන්නේ. වත්තල ජෝන් අමරතුංග කියනවා නම් ආණ්ඩුවත් අපේ පොලිසියත් අපේ මේ පැත්තෙ එන්න එපා කියලා. අපිට කියන්න තියෙන්නෙත් ඔය ජෝන්ලා වගේ චණ්ඩි, එහෙම නැත්නම් රතිඤ්ඤා සද්දෙටත් බයේ ඇඳ යට හැංගෙන සුරතල් කුක්කො ගැන අපිට වැඩක් නෑ කියලා. ඒ වගේම බලය තියෙද්දී චණ්ඩි වෙන බලය නැති වෙද්දී නොන්ඩි වෙන මහත්වරුන්ගේ කතා ගණන් ගත යුතුත් නෑ."

දිසානායක මහතා මේ බව පැවැසුවේ ඊයේ (12දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒ මහතා මෙසේද කීය.
බණ්ඩාරවෙල නගර සභාව සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ නැහැ. එම පළාත් පාලන ආයතන දෙක ස¼දහා උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය සමඟ ජවිපෙ එක්වී ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කරනවා. මොකද මෙම උමා ඔය සටන මැතිවරණ සමයේදීද පවත්වාගත යුතු නිසා මෙම තීරණයට එළඹුණා. එසේ නැතහොත් මැතිවරණය සමයේදී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි සටන යට යනවා. එම සටනට සහභාගි වී සිටින සියලුම පක්ෂවල සාමාජිකයන් බෙදීම වැළැක්වීමට මෙම තීරණය අරගෙන තිබෙනවා.

මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ තේමාව වූයේ "ගම ගොඩනඟන දූෂණය පරදන ජවය" යන්නයි. රට ගොඩනඟන කාර්යභාරයක් තිබෙන අතර එය පළාත් පාලන ආයතනවලින් ආරම්භ කළ යුතුව තිබෙනවා. පළාත් පාලන ආයතනවලට විශාල කාර්යභාරයක් පැවැරී තිබුණත් මේ වන විට පළාත් පාලන ආයතන කියන්නේ, ජනතාව රස්තියාදු කරන ජනතාවගේ සතුරු ආයතන බවට පත්වෙලා. ඒ නිසා ජනතාවගේ සතුරන් බවට පත්වී ඇති පළාත් පාලන ආයතන ජනතාවගේ සමීපතම නෑදැයන් බවට පරිවර්තනය කළ යුතුව තිබෙනවා.

එමෙන්ම මේ වන විට දේශපාලන මැදිහත්වීම අන්ත දූෂිත එකක් බවට පත්වී තිබෙනවා. අද රටේ ලාභදායීම ව්‍යාපාරය වී තිබෙන්නේ දේශපාලනයයි. අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා දක්වා වංචාව, දූෂණය, අල්ලස, පගාව පිරුණු රටක් බවට පත් වෙලා තිබෙනවා. අපේ රටේ ජාතික හොර තිත්පොළ පාර්ලිමේන්තුවයි. පළාත් හොර තිත්පොළ වී තිබෙන්නේ පළාත් සභාවයි. ප්‍රාදේශීය වශයෙන් හොර තිත්පොළ බවට පත් වෙලා තිබෙන්නේ ප්‍රාදේශීය සභාවයි. ඒක තමයි ඇත්ත. එම නිසා මෙම හොර තිත්පොළවල් බවට පත්වී තිබෙන ප්‍රාදේශීය සභා පිරිසුදු කිරීමේ වගකීම අපිට තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී විදුලි පුටුව ගැන කිව්වා. ඒ වගේම රට බෙදන එක නවත්වන්න ඡන්දය දෙන්න කියලා දැන් කියනවා. අපේ රටේ ජනතාව තුළ තිබෙන රට ගැන හැඟීම ලාභෙට කපටිකමින් දේශපාලනයට ඔවුන් යොදා ගන්නවා. අද ඒ දේශප්‍රේමීන් ලාභෙට විකිණෙන විදිහ ජනතාවට දැක බලාගන්න පුළුවන්. ඔවුන්ට තිබෙන්නේ වැස්සේ ගියොත් හේදෙන තවරාගත් දේශප්‍රේමයක් පමණයි.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
විමල් වීරවංශ පක්ෂයෙන් ගියේ අලුත් වමක් හදන්නයි. දැන් වම දකුණ හොයාගන්න බැරිව ඉන්නවා. රට රකිනවා කියන විමල් බොරුව කරන්නේ කියලා ඉන්න හතර පස්දෙනාත් අද විමල් දාලා යනවා. පෙරටුගාමී අය ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. ඒකට හේතුවක් කියාගන්නත් බැහැ. මොකද ඒ අයට ජනාධිපතිවරණයේදී තිබුණේ ඡන්ද 7,000යි. මැතිවරණයට අපේක්ෂකයෝම 8,000ක් විතර ඕනෑ.

වීරකුමාර දිසානායක වැනි අය දේශපාලනය භාගෙට ඉගෙන ගත්ත අය. කතාවක් තිබෙනවා යම් දෙයක් නොදන්නවාට වඩා භාගෙට ඉගෙන ගන්න එක භයානකයි කියලා. ජවිපෙට ‍ෙදාස් කියලා ගිය පිරිස් බංකොළොත් රස්තියාදුකාරයන් බවට පත් වෙලා තිබෙනවා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon