තේ තහනමෙන් ලොකු අවුලක්

  👤  3727 readers have read this article !
By mawbima 2017-12-18

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රුසියානු රජය ගෙන ඇති තීරණය, මෙරට තේ කර්මාන්තයට මෙන්ම තේ අපනයනයටත් විදේශ විනිමය ආදායමටත් එල්ලවූ බලවත් පහරක් ලෙස සැලකේ.
රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවකු වන අතර අපේ මුළු තේ අපනයනයෙන් 25%ක් මිලදී ගන්නේ රුසියාවයි. එරට ඇමරිකානු ඩොලර් මිලියන 1500ක පමණ වටිනා තේ අපෙන් මිලදී ගනී.

රුසියාව හදිසියේ ගත් මේ තීරණය වළක්වා ගැනීමට මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මැදිහත් වී සිටින අතර, රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කොට මේ තීරණය වෙනස් කරවා ගැනීමට වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක සහ රිෂාඩ් බදුර්දීන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය නියෝජිත පිරිසක් අද රුසියාවට යෑමට නියමිතය.

ඊයේ හපුතලේ නගරයේ පැවැති රැස්වීමකට සහභාගි වූ ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳ රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් මහතාගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බවත් මිත්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බැවින් මේ සම්බන්ධයෙන් තේ කර්මාන්තයේ නිරත කිසිවකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත් කීය.
අදාළ ගැටලුවට වගකිව යුතු සමාගමට එරෙහිව සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා අදාළ පරීක්ෂණවලදී සමාගම වැරදිකරු බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ අපනයන බලපත්‍රය තහනම් කිරීමටද කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙරටින් ආනයනය කරන ලද තේ බහාලුමක කුරුමිණියකු හමුවීම හේතුවෙන් රුසියාවේ කෘෂිකර්ම ආරක්ෂණ ආයතනය විසින් පසුගියදා (15 දින) ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව නතර කළ බවට නිවේදනයක් නිකුත් කළේය. මෙරට තේ මිලට ගන්නා ප්‍රධානතම විදේශීය තේ ගැනුම්කරුවා රුසියාව වන අතර රුසියාවේ තේ අවශ්‍යතාවයෙන් සියයට විසිතුනක්ම ශ්‍රී ලංකාවේ තේ මඟින් සපුරා ගන්නා බව තේ මණ්ඩල වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව වසරකට රුසියාව වෙත මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට විසිපහක් අපනයනය කරනු ලැබේ.

පසුගිය මාස කිහිපය තුළ මෙරටින් තේ කිලෝග්‍රෑම් මිලියන විසිපහක් රුසියාවට අපනයනය කර ඇති අතර එමඟින් රුපියල් බිලියන දහනවයක පමණ විදේශ ආදායමක් මෙරටට ලැබී තිබේ.
ඊට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ තේ මණ්ඩලයේ නියෝජිතයන්, තේ අපනයනකරුවන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟින් අද (18දා) පෙරවරුවේ විශේෂ හමුවක්ද පැවැත්වෙන අතර එම හමුවෙන් අනතුරුව විෂයභාර අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී රුසියාව වෙත පිටත්ව යෑම පිළිබඳව අවසන් තීරණය ගනු ඇතැයිද අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව සොයාගෙන ඇති කුරුමිණියා ධාන්‍ය බෝග ආශ්‍රිතව සිටින කුරුමිණියකු වෙයි. තේ මණ්ඩලයේ සහ රජයේ මතය වනුයේ එම කුරුමිණියා වෙනත් බහාලුමකින් එකතු වන්නට ඇති බවයි. ඒ අනුව මෙම ගැටලුව පිළිබඳව ඉක්මනින් විසඳුමක් රුසියානු රජය සමඟ සාකච්ඡා කර ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මෙරට තේ ආනයනය රුසියාව විසින් අත්හිටුවීම නිසා මතුව ඇති අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා තේ මණ්ඩල සභාපතිවරයා සහ නියෝජිතයන් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයන් රුසියානු තානාපතිවරයා සමඟ ඊයේ (17දා) සාකච්ඡා පවත්වා තිබේ.
මේ අතර තේ තොග ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව අද (18දා) හෝ හෙට (19දා) රුසියානු බලධාරීන් විසින් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පවතින අර්බුදකාරී තත්ත්වය විස¼දා ගැනීමට නොහැකි වුවහොත් මෙරට ලක්ෂ තුනකට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ද පවතියි.
මේ අතර උඩරට තේ අපනයනයේදී ලොව පිළිගත් තත්ත්ව සහතිකයන්ට අනුකූලව තේ නිෂ්පාදනය කර අපනයනය කරන නිසා එම තේ අපනයන බහාලුම්වල කිසිදු ආකාරයකින් කෘමීන් සිටිය නොහැකි බව උඩරට තේ වතු සමාගම්වල වතු අධිකාරිවරු අවධාරණය කරති.

ඔවුන් පවසන්නේ මීට ප්‍රථම අවස්ථා කිහිපයකදී එම තේ බහාලුම්වල තිබු ද්‍රව්‍යයන් කිහිපයක් පිළිබඳව එරට තේ ගැනුම්කරුවන් විසින් ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම් වෙත දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත්ව සොයා බලා තවදුරටත් එවැනි දේවල් සිදු නොවීමට වගබලාගත් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon