හිටපු ජනපති ලේකම් අබේකෝන්ට සිතාසි

  👤  3569 readers have read this article !
By mawbima 2018-01-12

cසිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩු 03ක් සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා අප්‍රේල් මස 06 වැනිදා පෙනී සිටින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා වෙත සිතාසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම මඟින් ගොනුකර ඇති එම නඩු ඊයේ (11දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ අමාත්‍යවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අඩංගු රෙජිස්ටරය භාර නිලධාරියා, සාක්ෂිකරුවන් ලෙස නම් කරන බවයි.
ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වත්කම් බැරකම් ප්‍රකාශ භාර නිලධාරියාට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් සිතාසි නිකුත් කරන ලෙසද අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට අප්‍රේල් මස 06 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

2010, 2011 සහ 2012 යන වසරවල අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ රජයට ලබානොදීම තුළින් වත්කම් හා බැරකම් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයාට එරෙහිව මෙම නඩු 03 ගොනුකර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon