එළවළු මිල ගැන හොයන්න “මව්බිම” කළ සංචාරය පිටකොටුවේ මැනිං මාර්කට් එකේ මිල අඩුයි

  👤  3546 readers have read this article !
By mawbima 2018-01-14

වෙලාව උදේ 10 පහුවුණා විතරයි. දවසේ කොයි වෙලාවේ මැනිං මාර්කට් ගියත් ඇහෙන්නේ එකම ඝෝෂාවක්. ඒ සද්දේ මැද්දෙන් අපිත් පිටකොටුවේ මැනිං මාර්කට් මැද්දට පියවර තැබුවා.

"ගෝවා ලාබයි... මෑකරල් ලාබයි... රුපියල් විස්සයි... එන්න ගන්න ලාබයි..."
වෙළෙඳසල් ළඟින් යද්දි එළවළු මිල ගණන් පවසමින් එක පෙළට ඉන්න වෙළෙන්දන් කතා කරනවා. එහෙම කතා කරන එක එකවරම නතර වුණේ අපේ අතේ පොතුයි කරේ තිබූ කැමරාවයි දැක්ක නිසා කියලා අපිට හිතුණා.

'පත්තරෙන්ද?'
'ඔව්'
'මොන පත්තරෙන්ද?'
'මව්බිම'
'එන්න එන්න. මොනාද දැනගන්න ඕනි.'

මාර්කට් එකේ වෙළෙන්දන්ගෙන් 'මව්බිම' අපිට ලොකු පිළිගැනීමක්. මේ දවස්වල හැමදේම ගණන් මදිවාට එළවළු මිලත් හොඳටම වැඩියි කියලා පාරිභෝගිකයන් නඟන චෝදනාවේ, ඇහෙන ගෝරනාඩුවේ ඇත්ත නැත්ත හොයාගෙන මාර්කට් ආ ගමන ගැන අපි ඔවුන් සමඟ පැවැසුවා.
"පසුගිය දවස්වලට සාපේක්ෂව මේ දවස්වල එළවළු මිල අඩුයි. පෑවිල්ල නිසා බෝංචි, මාළු මිරිස් හිඟ නිසාම මිල වැඩි වුණත් අනෙක් හැම එළවළුවක්ම ලාබයි. සැපයුම තිබුණාට වෙළෙ¼දාම නම් හොඳටම අඩුයි. ගමේ කඩවල, සුපිරි වෙළෙඳසල්වල මොන ගණන්වලට විකුණනවාද දන්නේ නෑ. මැනිං මාර්කට් එකේ නම් එළවළු මිල හොඳටම අඩුයි."

ඔහු ගාමිණී හඳුන්ගේ. පිටකොටුව මැනිං වෙළෙඳපොළෙහි වෙළෙඳ සංගමයේ ලේකම්.
"අනෙක් එළවළුවලට සාපේක්ෂව ගොඩගහලා තියෙන ගෝවා ගොඩ විශාලයි. ගෝවා කිලෝ ග්‍රෑම් 1ක තොග මිල රුපියල් 50යි කියලත් අපිට දැනගන්න ලැබුණා. මෙම වෙළෙඳපොළට මෙතරම් විශාල ගෝවා තොගයක් එන්නේ කොහෙන්ද කියලත් අපි ඔහුගෙන් විමසා සිටියා.
"ගෝවා තැන් දෙකකින් එනවා. එකක් පුත්තලම් ගෝවා. අනෙක නුවරඑළිය, කඳපොළ ගෝවා. නුවරඑළි ගෝවා ගුණාත්මක බවින් ඉහළ නිසා හොඳ මිලක් තියෙනවා. ඒ මිලට වඩා රුපියල් 20ක් 30ක් අඩුවෙන් තමයි පුත්තලමේ ගෝවා විකිණෙන්නේ. පුත්තලමෙන් බීට්, මෑකරල් එහෙමත් එනවා. මේ දවස්වල අර්තාපලුත් ගැලවෙන නිසා අල මිලත් අඩුයි. අද අල මිල අඩු වුණාට ඉදිරි කාලවලදී අල මිල බොහෝ ඉහළ යන්න පුළුවන්. හේතුව ලංකා අල කිලෝ ග්‍රෑම් 1 විකිණෙන්නේ රුපියල් 80ට. ආණ්ඩුව පිටරටින් අල ගෙන්වලා කිලෝ 1 රුපියල් 40ට දෙනවා. මිල අඩු දේ තමයි මිනිස්සු මිලදී ගන්නේ. මෙහෙම වෙලාවට දේශීය අල ගොවියාට මොකද වෙන්නේ. ඔවුන් ගොවිතැන අතාරිනවා. එහෙම වුණාම ඊළඟ අවුරුදුවල අල මිල අහස උසට නඟිනවා. ඒ නිෂ්පාදනය අඩු නිසා. එහෙම වෙලාවට රජය අපෙන්ම අහනවා ඇයි අල මේ තරම් මිල කියලා. කොහොමද ඉතින් මේවාට උත්තර දෙන්නේ."

ඊළඟට අපිට අදහස් දක්වන්න එකතු වුණේ ආනන්ද ජයරත්න.
ඔහුත් මැනිං වෙළෙඳපොළෙහි වසර ගණනාවක් තිස්සේ අලෙවිකරුවකු ලෙස කටයුතු කරන්නෙක්.
"මිනිස්සු ගණන් වැඩිම එළවළුවේ මිල අහලා ඊළඟට හැමතැනම ගිහින් කියනවා එළවළු මිල වැඩියි කියලා. මේ දවස්වල බෝංචි හිඟ නිසා ගණන් වැඩියි. එහෙම එළවළුවක මිල අහලා ඉතිරි ඒවායෙහි ගණන් මිමි අහන්නෙත් නැතිව හැමදේම ගණන් කියලා යන්න යනවා. නමුත් ඊළඟ මාසයේදී බෝංචිවලත් මිල අඩු වෙනවා. අපේ මිනිසුන්ට මොන තරම් ලාබයට එළවළු විකුණුවත් පුරුද්දට වගේ කියන්නෙම එළවළු මිල වැඩියි කියලා."

"වෙළෙ¼දාම අඩු නිසා අතිරික්තයට මොකද කරන්නේ?"
"අතිරික්තය කිසිම විටෙකත් අපි අහක දාන්නේ නෑ. නමුත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊට වෙනස්. ඔවුන් ඒ සියල්ල අහක දාන්න, නැතිනම් මේ මාර්කට් එකට එවනවා. අපි ඒක නැවැත්තුවා. අපි ඉතිරිවන එළවළු ඉතාම අඩු මිලට හෝ විකුණනවා. එහෙම විකුණලා ගොවියාට සාධාරණය ඉෂ්ට කරනවා. එහෙම නොකළොත් සිද්ධ වෙන්නේ ගොවියාගෙන් එළවළු එන එක නතරවීමයි. ඍජුව අපි සමඟ ගනුදෙනු කරන ගොවියාට අපි මොනම වෙලාවකවත් අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. කොහාම නමුත් මිනිස්සු එළවළු මිල වැඩියි කියන්නේ මේ දවස්වල හිඟ එළවළු කිහිපයක මිල ගණන් ඉහළ ගිහින් තියෙන නිසයි.
වෙළෙන්දන් මේ මොන කතා කිව්වත් පාරිභෝගිකයන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.
ඒ කතාව අපි මුලින්ම ඇහුවේ නාරාහේන්පිට ඉඳලා මැනිං වෙළෙඳපොළට ඇවිත් හිටිය පුෂ්පාගෙන්.

"දානෙකට බඩු ගන්න හිතාගෙනයි මම ආවේ. ඒත් හිතුව තරම් එළවළුවල මිල අඩුවක් නෑ. ගෙවල් ළඟ කඩවල එළවළු හරිම ගණන්. මෙහෙම ආවේ ලොකු වෙනසක් බලාපොරොත්තුවෙන්. නමුත් හිතුව තරම් වෙනසක් නෑ. පවුලක හතර, පස්දෙනෙක් ඉඳිද්දි කෑමට මේ තරම් මුදලක් වැය කරන්නේ කොහොමද? හරිම අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ, කන්නෙ බොන්නේ. අමු මිරිස් මිල නම් අඩුයි. නමුත් අමු මිරිස් කියන්නේ එළවළුවක් නෙමෙයිනේ. ඒ ඒ කාලෙට මිල අඩු එළවළුව කාලා නිකම් ඉන්නවා. කන්න කැමැති දෙයක් කවදා හෝ අඩුවෙයිනේ. ඒවා එදාට කනවා."
වැල්ලම්පිටියේ තිලක් කිව්වෙත් ඊට සමාන කතාවක්.

"අපි ලොකු පඹ ගාලක පැටලිලා ඉන්නේ. කන බොන දේවල මිල මේ තරම් ඉහළ නඟිද්දි කොහොම ජීවත් වෙන්නද හිතාගන්න බෑ. අපේක්ෂා කළ වෙනස දෙගුණ වෙලා ලැබෙනවා. මේ රට මොන අතකට යනවාද හිතාගන්න බෑ. එළවළු මිල ඉහළ යන තරමටම මිනිසුන්ගේ මාසික ආදායමත් ඉහළ යනවා නම් මොනතරම් හොඳද. මිල වැඩි නිසා හරිහමන් එළවළුවක් නොකා අපි ලෙඩ්ඩු වෙනවා. ඒකෙත් පාඩුව රජයටමයි. අපි වගේ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි කාර් එකෙන් බැහැලා මේ මාර්කට් එකට එන පොහොසතා පවා ඇවිත් අරන් යන්නේ අඩුවටම තිබෙන ගෝවා, මෑ කරල් වගේ ඒවා. මේ එළවළු මිල කාටත් දැනෙන ප්‍රශ්නයක්."

එළවළු විකුණාගන්න බැරිව වෙළෙන්දා ළතැවෙනවා. ඒ එළවළු මිලදී ගන්න සල්ලි නැතිව පාරිභෝගිකයා විඳවනවා. වෙළෙන්දා එක කතාවක් කියද්දී පාරිභෝගිකයා තව කතාවක් කියනවා. මේ මොන කතා මැද්දෙත් මැනිං මාර්කට් ගිය අපි එක දෙයක් හොඳ හැටි දැක්කා. ඒ හැම පැත්තෙන්ම පොඩි මිනිහා තැළෙන බවයි.

චාමිණී ගම්මන්පිල
ඡායා - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon