බැඳුම්කර ගනුදෙනුවෙන් ආණ්ඩුවට සතයක්වත් පාඩු වෙලා නෑ

  👤  3407 readers have read this article !
By mawbima 2018-01-14

බැඳුම්කර කොමිෂන් වාර්තා දැන් පිටවෙලා. බැඳුම්කර වංචාව ගැන බරපතළ චෝදනාව එල්ල වෙන්නේ එජාපයට. එජාප මැති ඇමැතිවරු තමයි බැඳුම්කර වංචාව යට ඉන්නේ කියලා. මේ කාරණා සමඟ එජාපයේ ඉදිරි ගමනට කුමක් වෙයිද?
බැඳුම්කර කොමිසම් වාර්තාව තුළ කොයිම තැනකවත් එජාපයේ මැති ඇමැතිවරයෙක් මේ වංචාවට හවුල් යැයි කියා නැහැ. අගමැතිතුමාත් මේ ගැන රටට හෙළි කළා. අපි බැඳුම්කර වංචාවට හවුල් නැහැ කියා.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ඇමැතිවරයාට මේ ගැන චෝදනා එල්ල වුණා. වාර්තාවේ හැටියට ජනාධිපතිවරයාගේ කතාවේදී අගමැතිවරයා මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු යැයි කීවා.

රවි කරුණායක ඇමැතිවරයාට ඇමැතිකම අහිමි වුණේ බැඳුම්කර වංචාව නිසා නෙවෙයි. එයාට එල්ල වුණේ වෙනම කරුණක්. ඒකෙන් කියලා තියෙන්නේ ජනාධිපතිතුමා කියන විදියට රවි කරුණානායක මහතාගේ සිද්ධිය බැඳුම්කරයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. එහි සඳහන් වන්නේ අර්ජුන් ඇලෝසියස්ගෙන් සුඛෝපභෝගී නිවෙස ගන්න මුදල් ගත්ත එක ගැනයි. ඒක බැඳුම්කරයට කිසිම සම්බන්ධයක් නැහැ. අනෙක බැඳුම්කර සිද්ධිය වාර්තා වීමත් සමඟ අගමැතිතුමා ඊට අදාළ පියවර ගත්තා.
ඔබ කොමිෂන් වාර්තාව දැක්කද?
තාම නැහැ.

ඔබ කොහොම කීවත් බැඳුම්කර සිද්ධිය විමර්ශනය කරන විට ඔබ, රවි කරුණානායක ඇතුළු එජාප මැති ඇමැතිවරුන්ගේ නම් අෑඳුණා. බැඳුම්කර වංචාව එජාපයේ අය සිදු නොකළා කීවත් ඊට අදාළ අනෙක් ගනුදෙනුවලදී ඇලෝසියස් සමඟ සබඳතා පැවැත්වූ බවත් ඔප්පු වුණා.

හැබැයි බැඳුම්කර ගනුදෙනුවේදී ඒ වාර්තාවේදී ඒ කිසි දෙයක් කියලා නැහැ. බැඳුම්කර කොමිසමේදී අපෙන් ප්‍රශ්න කළා. අපි උත්තර දුන්නා. බැඳුම්කර සිද්ධියට අපේ කිසිදු සම්බන්ධයක් නැහැ කියලා අපි කොමිසම හමුවේ කියා සිටියා. කොමිසම එය පිළිගත්තා. ඒකයි ඇත්ත. මගෙනුයි, කබීර් හෂීම් මැතිතුමාගෙනුයි ප්‍රශ්න ඇහුවේ කොමිසමේ මහත්තුරුනේ. ඒ අයට අපි කිව්වා බැඳුම්කර සිද්ධියත් එක්ක අපේ කිසිදු සම්බන්ධයක් නැහැ කියලා. ඒක බැඳුම්කර කොමිසමෙන් ඔප්පු වුණා.
හිටපු මහ බැංකු අධිපති එජාප හිතවතෙක්. ඔහු පත් කළෙත් ඔබතුමාලමයි.

එයා පත් කළේ ආණ්ඩුවෙන්. එයා අපේ හිතවතෙක් වුණා හෝ නැතා හෝ ඒ ගැන හොයලා බලන්න ඕන.
මහ පරිමාණ හොරකමක් කළා කියා ඔප්පු වුණාට පස්සේ තව මොනවද හොයලා බලන්නේ?
බැඳුම්කර ගණුදෙනුව නිසා මේ ආණ්ඩුවට එක සතයක්වත් තවම පාඩුවෙලා නැහැ. බැඳුම්කර ගනුදෙනු ගැන සැකයක් තිබුණු නිසා පර්පචුවල් ට්‍රෙෂරීස් ගත්ත බැඳුම්කර ගනුදෙනු අපි දැන් සීල් කරලයි තියෙන්නේ.

මහ බැංකුව අගමැතිතුමා යටතට ගත් නිසා තමයි මේ හැම දෙයක්ම සිදුවුණේ?
අගමැතිතුමාට මහ බැංකුව අයත්ව තිබූ නිසා එතුමාට මේ ගැන සැලවුණාම හොයා බැලුවා. ඒ අනුව එතුමා මහ බැංකු මූල්‍ය මණ්ඩලයට උපදෙස් දුන්නා පර්පචුවල් ට්‍රෙෂරීස්වල බිලියන 12ක වත්කම් අක්‍රිය කරන්න. බැංකුවල තියෙන මුදල්, ඊට අයත් චංචල, නිශ්චල දේපොළ ඇතුළු බිලියන 12ක් වටිනා දේපළ අක්‍රිය කළා. ඒ මුදල නීතිපතිතුමා හරහා නඩු දාලා රජයට අය කරගන්න පුළුවන්. එතකොට බැඳුම්කර ගනුදෙනුව නිසා රජයට සතයක්වත් පාඩුවෙලා නැහැ.
නීතිපති හරහා නඩු දාලා මුළු මුදලම අය කරගනීද?
ඔව්.

මීට පෙරත් ජනාධිපති කොමිෂන් වාර්තා පිට වුණානේ. ඒවාට වුණු දේ බැඳුම්කරයටත් වෙයි. ඒකයි ඇත්ත?
නැහැ. බැඳුම්කර ගනුදෙනු නිසා රුපියල් බිලියන 11ක් පාඩුයි කියලනේ කිව්වේ. අපි පර්පචුවල් ට්‍රෙෂරීස්හි රුපියල් බිලියන 11ක වත්කම් අක්‍රිය කළා. ඒවා එයාට පාවිච්චි කරන්න බැහැ. ඒ මුදල් රජයට අය කරගන්නයි දැන් තියෙන්නේ.

රාජ්‍ය ආයතනවලින් ගත් මුදල් නැවත එම ආයතනවලට ලබා දෙනවාද?
ඔව්. එම මුදල් රජයට පවරා ගත් පසු නැවත ලබා දෙනවා. මේ අනුව ගත්තාම බැඳුම්කර සිද්ධිය නිසා එක සත පහකවත් පාඩුවක් රජයට වෙලා නැහැ. ආණ්ඩුව මේ සියලු කාරණා සලකා බලලා තමයි එම සමාගමේ වත්කම් අක්‍රිය කරන්න තීරණය කළේ.
2008-2015 කාලය තුළදී මහා පරිමාණයෙන් බැඳුම්කර වංචා සිදුවෙලා තියෙනවා කියා ආණ්ඩුව කියනවා. එහෙම වංචා සිදුවුණා නම් රනිල් මාව හිරේ දාලා කියා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියනවා. එතකොට කවුද ඇත්ත කියන්නේ.
2008-2015 තුළ මහ පරිමාණ බැඳුම්කර වංචා සිදුවෙලා තියෙනවා. දැන් අපි හදන්නේ ඒ සල්ලි කොහෙද කියලා හොයන්නයි. මොකද ඒ සල්ලි හොයන්නම ඕන. 2015න් පස්සේ සිදුවූ ගනුදෙනුවලදී පාඩුවක් වෙලා නැහැ කියලා අපට ඔප්පු කරන්න පුළුවන්. බිලියන 11ක පාඩුවක් වෙලා කියද්දි අපි බිලියන 12ක මුදල් අක්‍රිය කරලා තියෙනවා ඒ අයගේ වත්කම්වලින්. අන්න ඒ වගේ 2008-2015 අතර සිදුවූ ගනුදෙනු ගැනත් හොයලා ඒවා අය කර ගන්න ඕන. අපි අහන්නේ ඒ මුදල් කොහෙද කියලයි.
ඔබතුමාලා බලයට ආවේ ඒ හොරකම් හොයන්න.

අපි හොයනවා කිව්වා.
කෝ හොයපු හොරකම්. කාටද නඩු දැම්මේ. සමහර නඩු මාස 6-7 අෑතට ගිහින්. සමහර නඩු ෆයිල් යට ගහලා. මේකද යහපාලනයෙන් ජනතාව බලාපොරොත්තු වුණේ?
ඒක අපේ අතේ නෙවෙයි තියෙන්නේ. යහපාලනය කියලා අපි නීතියට ඇඟිලි ගහන්නේ නැහැ. පොලිසිය අදාළ කාරණා විමර්ශනය කරලා අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි. ඉස්සර ජනාධිපතිතුමා හරි ඇමැති කෙනෙක් හරි නියෝග දුන්නාම පරීක්ෂණ යට යනවා. දැන් එහෙම වෙන්නේ නැහැ. අදාළ නීතිමය කටයුතු සිදුවෙනවා.
දවස ගාණේ නඩු අහලා වැරැදිකරුවන්ට දඬුවම් දෙනවා කියලා තමයි යහපාලනය බලය ගත්තේ?
අපේ ඇමැතිතුමිය තලතා අතුකෝරල මහත්මිය පසුගිය සමයේ ඒක කියලා තිබ්බා. අදාළ කාරණා ගැන නඩු අහන්න උසාවි වැඩි කරනවා කියලා. දවස ගණනේ නඩු අහනවා කියලා. ඉදිරියේදී ඒවායේ ප්‍රතිඵල ලැබෙයි.

පාර්ලිමේන්තුව හදිසියේ රැස් කරලා විවාදයක් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒක අස්සේ වෙන වෙන ගේම් නැහැ නේද?
අපෝ නැහැ. පක්ෂ නායකයන් රැස් කරලා අදාළ කාරණා ගැන පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නවා.
නියම වාර්තාව නේද මන්ත්‍රිවරුන්ට ලබා දෙන්නේ.
ඔව්. අපටත් තවම වාර්තාව ලැබිලා නැහැ.

මහින්ද රාජපක්ෂලාගේ හොරකම් කළ මුදල් ඩුබායිවල තියෙනවා කියා මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරද? මොකද ඡන්දේ ළඟ නිසා දැන් නිතර නිතර ඒ කතා ඇහෙනවා ?
ඡන්ද කාලෙට විතරක් මේවා කතා වෙන්නේ නැහැ. මේවා හොයාගෙන යනවා. පොලිසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි එකතුවෙලා ගොඩක් කාරණා හොයාගෙන තියෙනවා. මොකද මේවා හොයන එක ලෙහෙසි කාරණා නෙවෙයි. මහ ලොකු වංචා කරන අය දවසින් දෙකින් අල්ලන්න අමාරුයි. 'මාකෝස්'ගේ වංචා හොයා ගන්න අවුරුදු 10ක් ගියා. අපි කියන්නේ එච්චර කල් යන්න අවශ්‍ය නැහැ. සමහර රටවල් තම රටේ බැංකු වාර්තා දෙන්නේ නැහැ. ඒක ලෙහෙසි වැඩක් නෙවෙයි. හැබැයි කරගෙන යනවා.
අද වන විට ගම් ඇතුළේ කියන්නේ එජාපය මහ පරිමාණ වංචාවක් කළා කියා. එහෙම හිතාගෙන ගම හදන්න ඉඩ දෙන්න කියා එජාපය ගමින් ගමට යනවා. ඒක හරිද?
බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඔප්පු වෙනවා එජාපය කිසිදු වංචාවකට හවුල් නැහැ කියා. අපි හරි දේ කරනවා. එහෙම කරලයි ගමේ බලය ඉල්ලන්නේ.
එජාපය හරියි කියන මතය ගමට ගිහින් නැහැ. එජාපය දකින්නේ දවල් හීන?

නැහැ අපි හිටියේ කොමිෂන් වාර්තාව එනකල්. ඊට කලින් අපි මොකුත් කිව්වත් කවුරුත් පිළිගත්තේ නැහැ. දැන් රටට හරි දේ දැනගන්න පුළුවන්.
ජනවාරි 8ට අවුරුදු 3යි. රටට පෙන්නුවේ රාජගිරිය පාලම විතරයි. ඇත්තටම යහපාලනයෙන් රටට මොනවද ලැබුණේ. ජනතාව අහන දේටයි පිළිතුරු ඕන.
අපි ගොඩක් වැඩ කරලා තියෙනවා. අණබෙර ගහලා නැහැ. අපි සංවර්ධනය ඇති කරන්න අත්තිවාරම් දැම්මා. දැන් ප්‍රතිඵල ලැබෙනවා. පසුගිය වසරේ සියයට 11කින් අපනයන වැඩිවුණා. විදේශ ආයෝජන ඩොලර් බිලියන 1.5කට වැඩි වීමක් තියෙනවා. මේ වසරේදී ආයෝජනය සියයට 15-20ක විතර වැඩිවීමක් පෙන්නුම් කරනවා. විදේශ ආදායම් බිලියන 2 1/2ක් විතර වැඩිවෙන්න තියෙනවා. දැන් ප්‍රතිඵල ලබාගෙන එනවා. මොකද ආයෝජකයන්ට මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති කරන්න ඕන. එක දවසින් දෙකකින් මේක කරන්න බැහැ.

මීට අමතරව පාරවල් හැදුවා. සෞඛ්‍ය සේවා දියුණු කළා. ජීවන වියදම අඩුයි. නියඟය නිසා හාල් ප්‍රශ්නයක් ආවා. අපි හාල් ආනයනය කරලා එම ප්‍රශ්නයට පිළියමක් දුන්නා. පොල් මිලත් වැඩියි. ඒත් අපට පොල් ආනයනය කරන්න බැහැ. ඒ නිසා ඒකට විසඳුම් දුන්නා පොල් ආශි්‍රත නිෂ්පාදනවලට වෙනත් දේ ආදේශ කළා.
හොඳ වැඩ කළා නම් මාධ්‍ය හරහා රටට වාර්තා නොවෙන්නේ ඇයි?
සාමාන්‍යයෙන් අපි හොඳ වැඩක් කළාට මාධ්‍ය ඒවා ගන්නේ නැහැ. මාධ්‍ය ගන්නේ ප්‍රශ්න තියෙන ඒවා විතරයි.
ඔතැන රටේ මාධ්‍ය නොවෙයි වැරැදි. එජාපයේ මාධ්‍ය අංශයේ ඉන්න අයගේ දුර්වලකම් නිසා මෙහෙම වෙනවා නෙවෙයිද?

මම ඒකත් පිළිගන්නවා. අපි ඒකත් හදාගෙන යනවා. අපි වැඩ කළා මිසක මාධ්‍ය හරහා ප්‍රචාර ගන්න ගියේ නැහැ.
එජාපයට විපක්ෂයේ ඉන්නකොටත් වුණේ ඕකම නේද?

විපක්ෂයේ ඉන්නකොට ඒවා ගැන බලන්න වෙලාවක් තිබුණා. ආණ්ඩු කරනකොට ආණ්ඩු කරනවා මිසක් කරන වැඩ ගැන කියවාගෙන යන්නේ නැහැ.
එජාපය වැඩක් කරන්නේ නැහැ. කරන්නේ රටේ සම්පත් විකුණාගෙන කන එක විතරයි නේද? ඒක තමයි එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය එහෙම නේද?
රටේ සම්පත් කිසිම දවසක අපි විකුණලා නැහැ. මේ ආණ්ඩුව කිසිම දවසක රටේ සම්පත් විකුණලා නැහැ. අපි බදු ක්‍රමයට දෙන එක විතරයි කළේ. අපේ සම්පතක් කියලා අවුරුද්දෙන් අවුරුද්ද අපට පාඩු විඳින්න බැහැ. මේවායින් විශාල පාඩු විඳිනකොට ඒ බර දරන්නේ මේ රටේ ජනතාව. ඊට වඩා හොඳ නැද්ද ඒ සම්පත්වලින් ක්‍රමවේදයක් හොයාගෙන ලාභ ලබන එක. හම්බන්තොට වරාය තිබුණා කියලා අපට උඩ බලාගෙන ඉන්න බැහැ. හැම අවුරුද්දේම කෝටි ගණන් පාඩු විඳිනවා. 2017 අවසානයේදී අති විශාල පාඩුවක් වින්දා. ඒ නිසා අපි ඒ සම්පතින් ප්‍රයෝජනයක් ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකා එයාර්ලයින් අති විශාල පාඩු ලබනවා. අපි කරන්න ඕන මේවායින් ප්‍රයෝජනයක් ගන්න එකයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික නිකන් වහලා දාලා.

ඒවායේ තෙල් ගබඩා කරන්න පුළුවන්. කරන්නේ නැත්තේ ඇයි?
අපිට ඒක කරන්න අමාරුයි. ඒ නිසා කවුරුහරි එක්ක හවුලේ කරගන්න වෙනවා. අපට සියයට 50ක් තියාගෙන විදේශයකට ආයෝජනය කරනවා. මෙහෙම කරනවා කියන්නේ රටේ සම්පත් විකුණනවා කියන එක නෙවෙයි. රටේ සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න එකයි.
වොක්ස්වැගන් ගෙනාවා, අරවා ගෙනාවා, මේවා ගෙනාවා. දැන් කවුරුත් නැහැ. කාවද රවටන්නේ මේ විදියට?
ඒක රැවටීමක් නෙවෙයි. රටේ තිබුණ තත්ත්වයත් එක්ක ආයෝජකයෝ සැකෙන් හිටියේ. විශේෂයෙන් යුද්ධය ඉවර වෙලා සාමය උදාවෙනකම්.
2015 බලයට ඇවිත් කිව්වේ අගෝස්තු වෙද්දී වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් පන්නල ඇති කරනවා කියා?
ඒ වන විට මේ අය රටේ තිබුණු වාතාවරණය ගැන හිතුවා. දැන් තමයි ආයෝජකයන්ට රට ගැන හරියට තේරුම් ගිහින් තියෙන්නේ. මේ මාසය අවසානයේ ජපානයේ ආයෝජකයන් 75ක් එනවා. 1983න් පස්සේ තමයි මේ අය එන්නේ.

එතකොට චීනය?
චීනය කියන්නේ ලෝකයෙන්ම දියුණුවේගෙන එන රට.
ඒකද චීනයට රටෙන් කෑල්ල කෑල්ල බදු දෙන්නේ?
ඒ අය ලෝකයේ හැම තැනම ආයෝජන කරනවා. අපිත් ඒ ගැන බැලුවා. අපට පෙර චීනයට අඬ ගැහුවේ මහින්ද මහත්තයා.
ණය දෙන නිසා චීනයට ළැදියි. ඒකද ඇත්ත?
ණය විතරක් නෙවෙයි ඒ අය ආයෝජනත් කරනවා. අපට චීනය පැත්තකට දාන්න බැහැ. මොකද අතිවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න එකයි කරන්නේ. චීනය විතරක් නෙවෙයි ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව අපේ රටේ ආයෝජනය කරනවා.
රටේ හැමදේම බදු දීලා පරිපාලන කටයුතු විතරද ආණ්ඩුව කරන්නේ?

එහෙම තමයි කරන්න වෙන්නේ. අපේ ප්‍රතිපත්තිය අනුව ආණ්ඩුවට ව්‍යාපාර කරන්න අමාරුයි. ඒක ඵලදායී නැහැ. අපි ව්‍යාපාර කරන්න ඕන අපේ ප්‍රතිපත්ති එක්ක, පෞද්ගලික අංශයත් එක්කයි. එයාලගේ තාක්ෂණයයි දැනුමයි අපි ගන්නේ. අපට මෙහෙම යන්න බැරි වුණොත් ඉදිරි ගමනක් නැහැ. අපි ඉන්නේ අනෙක් රටවලට වඩා ගොඩක් පිටුපස්සෙන්.
කොහොම තරග කළත් ලංකාව ලෝකයේ දූෂිත රටවල් අතරින් 4 වැනි තැනට පත් කරලා. ඒකට රට පාලනය කරන හැමෝම වගකියන්න ඕන.
ඔව්, ඒක හරි. අපට ඕන මේ හැමදේම වෙනස් කරන්නයි. අලුත් නීතිරීති ගෙනැත් මේවා වෙනස් කළ යුතුයි.
යහපාලනයේ ඉන්න ශ්‍රීලනිපයේ අය ඔය ප්‍රතිපත්තිවලට කැමැති නෑනේ?

එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි නිදහස් ගිවිසුම අස්සන් කළා. ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සහාය දෙනවා. සමහරු දේශපාලන වාසිවලට කෑ ගහනවා. ස්වල්ප දෙනෙක් විතරයි. සියයට 5-10ක් ඕන වැඩක් කරන්න යනකොට කෑ ගහනවනේ.

අද රට පාලනය කරන්නේ කවුද?
එජාප-ශ්‍රී ලංකා එක්ව කරන යහපාලන ආණ්ඩුව.
අද රට පාලනය කරන්නේ මාධ්‍ය කියලා ආණ්ඩුවෙන්ම චෝදනා කරනවා?
ඔව්. අපි මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මාධ්‍ය නිදහස නැත්නම් ඒ අය මේ විදියට කරන්නේ නෑනේ. ඕන කෙනකුට ඕන දෙයක් කියන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. ඒකයි අපේ වෙනස. ඒත් ඇතැම් මාධ්‍ය කරන වැඩේ සාධාරණ නැහැ. හැබැයි අපට ඕවට උත්තර දෙන්න වෙලාවක් නැහැ. ඕවා පස්සේ ගියොත් අපට වැඩ කරන්න වෙලාවක් නැහැ.

මම නටලා පෙන්නුවා. ඉස්සරහට නටලා පෙන්නනවා. අගමැතිතුමා කිව්ව කතාවේ බරපතළ දෙයක් තියෙනවා. ඒ මොකක්ද..?
අගමැතිතුමා කියන්නේ මේ කෑගහන අයට බයේ අපට වැඩ කරන්න බැහැ. අපට ඕන ප්‍රතිපත්ති අනුව රට දියුණු කරන්නයි කියායි. බොරුවට කෑ ගහන අය කියන පදේට නටන්න බෑනේ.
කෝ අද යහපාලන ප්‍රතිපත්ති?
අපි ඉෂ්ට කරනවා.
ඒ බොරු කීවොත්?

ටිකක් කළා. තව ටිකක් තියෙනවා. අද සුදු වෑන් නැහැ. මාධ්‍යවේදීන් මරන්නේ නැහැ. හොරු අල්ලපු නැති එකයි තියෙන චෝදනාව. ඒකත් ඉදිරියට සිද්ධ වෙයි. පොලිසිය හොයලා චෝදනා ඔප්පු කරගත් ඒවා නීතිපති වෙත යවලා තියෙනවා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර පොඩි පොඩි වෙනස්කම් තිබුණාට සහයෝගයෙන් වැඩ කරලා මේ හැමදේම විසඳයි.

මේ පුංචි ඡන්දයේදී එජාපය ගම හදන්න බලය ඉල්ලනවා. ඇත්තටම ලැබෙයිද. ගමේ බලය තියෙන්නේ මහින්දට. ඒකයි ඇත්ත?
ඒක ජනතාවගේ කැමැත්ත. නමුත් ගම හදන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක ඉන්න ඕන. ගම හදන්න සම්පත් දෙන්නේ ආණ්ඩුව. ඉතින් ගම හදාගන්න අවශ්‍ය නම් ගමේ අයට තේරෙන්න ඕන ආණ්ඩුවට උදවු කරන්න ඕන කියා.

ප්‍රගීත් සම්පත්
ඡායාරූප-වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon