දරුගැබ දරාගෙන මහපාරේ වාඩිවුණ මන්නාරමේ අම්මලා

  👤  3533 readers have read this article !
By mawbima 2018-01-14

ඕනෑම රටක ජනතාව උද්ඝෝෂණය කරනු ලබන්නේත් විරෝධතා දක්වනු ලබන්නේත් ජීවත්ව සිටින මිනිසුන්ගේ යම් යම් අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණ ඇතිවය.
එහෙත් පසුගියදා මන්නාරමේ ගැබිනි කාන්තාවන් සිය ගණනක් මන්නාරම දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට වූ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් හා විරෝධතාවක් දක්වනු ලැබුවේ තවමත් මෙලොව එළිය දැක නැති පිරිසක් වෙනුවෙනි.

මන්නාරමේ සිටින ගැබිනි කාන්තාවෝ දෙමළ හා මුස්ලිම් කාන්තාවෝය. ඔවුන් මසකට වරක් මන්නාරම රෝහලේ පැවැත්වෙන මාතෘ සායන සඳහා පැමිණෙන නමුත් ඔවුන්ව පරීක්ෂා කිරීමට වෛද්‍යවරයකු නොමැත. ගැබිනි මවුවරුන්ගේ රුධිරය හා මුත්‍රා පරීක්ෂා කිරීමට රසායනාගාර සේවකයෝ මන්නාරම රෝහලේ නොමැත.
"ලබන සතියේ එන්න. අපි මොනවා හරි කරමු" රෝහල් බලධාරීහු මේ අන්දමට ලබා දුන් පිළිතුරෙන් සෑහීමට පත්වී ගැබිනි මවුවරු බස් කුලියද ගෙවාගෙන ආපසු නිවෙස් කරා ගියහ.

ලබන සතිය එළැඹිණි. ගැබිනි මවුවරු මන්නාරම රෝහලට පැමිණියහ. එදින පිළිතුර වූයේ "තවමත් වෛද්‍යවරු නෑ. ඔයාලා වවුනියාව මහ රෝහලට යන්න" යනුවෙනි.
මන්නාරමේ සිට වවුනියාවට දුර සැතපුම් 48කි. මේ ගැබිනි මවුවරු මේ දුර පැමිණිය යුත්තේ බස් රථවලිනි. දරු කුසකුත් දරාගෙන මෙපමණ දුරක් මොවුන්ට ගමන් කිරීම එක් අසීරු කරුණකි. අනෙක් අසීරු කරුණ වන්නේ වවුනියාව මහ රෝහලේ මාතෘ සායනය පැවැත්වෙන දිනයට රෝහල් කාර්ය මණ්ඩලයට පාලනය කරගත නොහැකි අන්දමේ ගැබිනි මවුවරුන් පිරිසක් පැමිණීම නිසා මන්නාරමේ සිට පැමිණෙන ආගන්තුක ගැබිනි මවුවරුන් පිරිසකට වවුනියාව මහ රෝහලේ මාතෘ සායනය තුළ ඉඩක් නොමැති වීමයි.
නමුත් කුසේ සිටින දරුවාට ඇති ආදරයත් දැඩි ස්නේහයත් නිසා එසේ කළ මවුවරුන්ද මන්නාරමේ නොසිටියා නොවේ. නමුත් ඒ මවුවරුන් මන්නාරමේ සිට වවුනියාවට පැමිණ මාතෘ සායනයට සහභාගි වී ආපසු මන්නාරමට යන විට බොහෝ සෙයින් රෑබෝ වී තිබිණි.

2018 වර්ෂය උදාවීමත් සමඟම මන්නාරමේ ගැබිනි මවුවරු විශ්වාස කළේ ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදී ඇතැයි යනුවෙනි. ඔවුන් හා හා පුරා කියමින් වසරේ මුල්ම මාතෘ සායනය සඳහා මන්නාරම රෝහලට ගියහ. නමුත් වෙනදා වෛද්‍යවරයකු නැතත් ‍ෙදාර විවෘතව තිබෙන මාතෘ සායනයේ එදා ‍ෙදාරද වසා දමා තිබිණි.
පෙරවරු දහය පමණ වන විට ගැබිනි මවුවරුන්ගෙන් මාතෘ සායනය ඉදිරිපිට පිරී පැවතුණි. මේ පිරිසට කුමන හෝ පිළිතුරක් ලබාදීමට රෝහල් බලධාරියකු හෝ නොපැමිණීම නිසා මේ ගැබිනි කාන්තාවෝ කළේ තම දරු ගැබ්ද ඔසවාගෙන රෝහල් භූමියත් මහා මාර්ගයත් අවහිර වන අන්දමට වාඩි වීමය. මාර්ගය අවහිර වූ තැනට පොලිසිය පැමිණියහ. මුලින්ම පැමිණියේ පොලිසියේ සුළු නිලධාරීන් පිරිසකි. ඔවුන්ට ප්‍රශ්නය විස¼දා ගැනීමට නොහැකි වූ තැන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීහු මේ විරෝධතාව මැදට පැමිණියහ. ඔවුන්ද අසරණය. වෙනත් පිරිසක් උද්ඝෝෂණයක හෝ විරෝධතාවක නිරත වූවා නම් ඔවුන්ව කනෙන් ඇද එළියට දැමීමට පොලිසියට හැකියාව තිබිණි. නමුත් මේ පිරිස ගැබිනි මවුවරුන් නිසා පොලිසියට එසේ කළ නොහැකි විණි.

පොලිසිය එක් එක් උපක්‍රම යොදා මේ ගැබිනි කාන්තාවන් පිරිස විරෝධතා බිමෙන් ඉවත් කිරීමට උත්සාහ කළහ. ගැබිනි කාන්තාවෝ කෙමෙන් කෙමෙන් අසරණ වන බවක් ඔවුන්ට දැනුණු නිසා වහාම දුරකතනවල ආධාරයෙන් ගැබිනි කාන්තාවෝ සිය ස්වාමිපුරුෂයන්ව මේ ස්ථානයට කැඳවූහ.
ගැබිනි කාන්තාවෝ නිහඬව උද්ඝෝෂණයක මෙතෙක් නිරත වූවත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයෝ පැමිණ එතැන මහා සද්දයක් දමන්නට විය. අවසානයේදී පොලිසියට සිදු වූයේ රෝහල් බලධාරීන් සොයා යන්නටය.

රෝහල් බලධාරීන් පොලිසියට කියා සිටියේ ඔවුන්ට මේ වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැති බවය. නමුත් පොලිසියද වැඩේ අතඇරියේ නැත. උද්ඝෝෂණයේ නිරත ගැබිනි මවුවරුන්ගෙන් දස දෙනකු තෝරාගෙන ඔවුන්ව රෝහල් බලධාරීන් වෙත යොමු කළහ. මේ දහ දෙනාද නිකම්ම නොසිට කියා සිටියේ කියන මගුලක්
උද්ඝෝෂණයේ නිරත පිරිස ඉදිරියට ගොස් කියන ලෙසය.
ඒ අනුව මන්නාරම දිස්ත්‍රික් රෝහලේ ඒ වන විට සිටි ඉහළම නිලය දරන වෛද්‍යවරිය පැමිණ දැනට මන්නාරම රෝහල තුළ උද්ගතව ඇති තත්ත්වයත් මේ ගැබිනි මවුවරුන්ගේ සායනය සඳහා හදිසියේ ගත් තීරණයත් දැනුම්දී සිටියාය.

"අපි මේ රෝහලට වෛද්‍යවරු නෑ කියලා අවුරුදු දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයටත් උතුරු පළාත් සභාවේ බලධාරීන්ටත් කියනවා. අලුතෙන් වෛද්‍යවරු ලබාදීලා නැහැ. රසායනාගාර නිලධාරීන් ඇතුළු අනෙක් සේවක පිරිස්වලත් විශාල අඩුවක් පවතිනවා. මේකට අපිට කරන්න දෙයක් නෑ.
ඒත් මේ උදාවෙලා තියෙන තත්ත්වය ගැන අපි උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරනවා. අපිට දැන් උත්තරයක් දීලා තියෙනවා. මන්නාරම රෝහලට අලුතෙන් වෛද්‍යවරු ලැබෙනකල් මාතෘ සායනය තියෙන දිනයට වවුනියාව මහ රෝහලේ සිට වෛද්‍යවරු හා අනෙක් නිලධාරීන් පිරිසක් මන්නාරමට එවන්න ඔවුන් තීරණය කළා. මේ නිසා අපි ලබන සතියේ කොහොම හරි මේ මාතෘ සායනය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය නිලධාරිනියගේ කතාවට ගැබිනි මවුවරු අත්පොළසන් දුන්හ. ඔවුන්ගේ ස්වාමිපුරුෂයෝ ඔල්වරසන් හඬ නැගූහ. මේ ආරංචිය ඔවුන්ට මොහොතක සතුටක් වුවත් ප්‍රශ්නය කුමන අන්දමකට විසඳේදැයි යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කළ හැකි වන්නේ ලබන සතියේද මන්නාරම රෝහලේ පැවැත්වෙන මාතෘ සායනයේ තත්ත්වය අනුවය. බොහෝ විට ප්‍රශ්නයක් ඇති වූ විට ඉන් ගැලවීමට උතුරේ බලධාරීන් විසින් ලබාදෙන තාවකාලික විසඳුම් ප්‍රශ්නය වසන් වූ පසුව ඔවුන්ට අමතකය. මන්නාමේ ගැබිනි මවුවරුන්ගේ සායනය පිළිබඳවත් ඔවුන්ට ලබන සතියේදී අමතක වුවහොත් මන්නාරමේ දෙමළ හා මුස්ලිම් ගැබිනි මවුවරු ඊළඟට
උද්ඝෝෂණ කරනු ලබන්නේ පොලු මුගුරුද රැගෙන පැමිණ බවට සැකයක් නොමැත.

මන්නාරම දිස්ත්‍රික් රෝහල තුළ ගැබිනි මවුවරුන් සඳහා සායන පැවැත්වීමට වෛද්‍යවරුන් හෝ රසායනාගාර නිලධාරීන් නොමැති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරනු ලැබුවත් මන්නාරම නගරයේ ඇති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල මේ සියලුම දෙනා සිටිති. නවීන ස්කෑන් පහසුකම් පවා මන්නාරම නගරයේ පෞද්ගලික අංශයේ රෝහල්වලින් ලබාගත හැකිය. මේ පෞද්ගලික රෝහල්වල සවස් කාලයට සේවය කරනු ලබන්නේද මන්නාරම රෝහලේ සේවය කරන වෛද්‍ය නිලධාරීන් මිස වෙනත් පිටස්තර පළාතකින් පැමිණෙන වෛද්‍යවරු නොවීම පුදුම සහගත තත්ත්වයකි.

රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon