සත්තු ටිකත් හබක් යාල කැලේ ‘ට්‍රැෆික්’

  👤  3277 readers have read this article !
By mawbima 2018-01-14

යාල ජාතික වනෝද්‍යානයට දිනකට ඇතුළු කළ හැකි උපරිම ජීප් රථ සංඛ්‍යාව 650ක් දක්වා වැඩි කිරීමට පසුගිය සතියේදී රජය විසින් තීරණයක් ගනු ලැබ තිබිණි. රජයට එවැනි තීරණයක් ගැනීමට සිදුවූයේ දෙසැම්බර් මස අවසන් සතියේත් ජනවාරි මුල් සතියේත් සංචාරකයන් රැගත් ජීප් රථ විශාල සංඛ්‍යාවක් යාලට පැමිණීමත්, වනෝද්‍යානයට ඇතුළු කිරීමට අවසරදී තිබූ උපරිම සංඛ්‍යාව ඉක්මවා යෑමත් හේතුවෙන් ජීප් රථවලින් කොටසක් ආපසු හරවා යැවීමට උද්‍යාන බලධාරීන් කටයුතු කිරීම නිසාවෙනි.
යාල ජාතික වනෝද්‍යානයට එකවර ඇතුළු කළ හැකි නැතිනම් වනෝද්‍යානයට දැරිය හැකි ජීප් රථ සංඛ්‍යාව දෙසීයකි. ඊට වඩා වැඩි රථ සංඛ්‍යාවක් උද්‍යානයට එකවර ඇතුළු කළහොත් එය වන සතුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් සතුන්ටම වෙන් කරන ලද භූමියකදී උන්ට සිදුකරන මහත්වූ පීඩාවක් වන්නේය. තවද පමණට වඩා වැඩි රථ සංඛ්‍යාවක් පැමිණීමෙන් වනෝද්‍යානයෙහි නීතිය රකින්නාවූ නිලධාරීහු ද අපහසුතාවට පත්වෙති.

ජීප් රථවලින් නැඟෙන දුම, දූවිල්ල සහ ශබ්දය නිසාත් සේනාවක් ලෙසින් පෙළට ඇදෙන වාහන පෝලිම දැකීමෙනුත් සත්තු බියවී කැලෑවැදී සැඟවෙති. සතුන් පෙන්වීමට සංචාරකයන් රැගෙන එන ජීප් රථ රියැදුරන්ගේ සටන ඇරැඹෙන්නේ එවිටයි. සතුන් නොදැක්කොත් සංචාරකයෝ අතෘප්තියට පත්වෙති.

"ඒයි මචං ඔතැන කොටිය ඉන්නවද..? වලහෙක්වත් දැක්කෙ නැද්ද..?" ජීප් රථ රියැදුරෝ ජංගම දුරකතන ඔස්සේ එකිනෙකා සමඟ එලෙස සංවාදයෙහි යෙදෙති. සතුන් ඉන්නා ඉසව් සොයමින් පිස්සු හැදුණු බල්ලන් මෙන් වනෝද්‍යානයෙහි ඔබ මොබ දුවති. ඇතැම් විටෙක සතකු සිටින තැනක් පිළිබඳව හෝඩුවාවක් ලැබුණොත් නියමිත වේග සීමාවන්ද ඉක්මවමින් ඒ වෙත ජීප් රථ ධාවනය වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ බියවී සිටින සතුන් තව තවත් කැලය තුළටම වැදී සැඟවීමයි.
එකවර ඇතුළු කළ හැකි නැතිනම් වනෝද්‍යානයට දැරිය හැකි ජීප් රථ සංඛ්‍යාව දෙසීයක් පමණ වුවත් යාලට දිනකට පැමිණෙන ජීප් රථ සංඛ්‍යාව තුන්සීය ඉක්මවයි. මෙහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උද්‍යානයට දිනකට ඇතුළු කරනු ලැබිය හැකි උපරිම ජීප් රථ සංඛ්‍යාව 300ක් බවට නීතියක් ගෙන එනු ලැබීය. මෙම නීතිය පැනවීමත් සමඟම ජීප් රථ රියැදුරෝ කලබලයට පත්වූහ. එයට හේතුව ඇතැම් දීර්ඝ සති අන්ත නිවාඩුවලදී යාලට දිනකට ඇතුළු කරනු ලබන ජීප් රථ සංඛ්‍යාව 500 ද ඉක්මවා යෑම නිසාය.

යාල ජාතික වනෝද්‍යානය ආශි්‍රතව සංචාරක කර්මාන්තයෙහි නියැළෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව දහස ඉක්මවයි. සෆාරි ජීප් රථ කර්මාන්තයෙන් දිවි සරි කර ගන්නා දරු පවුල් සංඛ්‍යාව ජීප් රථ ගණනට වඩා වැඩිය. ලියාපදිංචි කොට ඇති සෆාරි ජීප් රථ හිමිකරුවන්ගේ මෙන්ම රථ රියැදුරන්ගේ සංගම් ගණනාවක් ද තිබේ.
ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් 90%ක්ම යාල නැරැඹීමට පැමිණේ. ඇතැම් සංචාරකයන් යාල බැලීමටම ලංකාවට පැමිණෙන්නේ එය දෙස් - විදෙස් පතල වනෝද්‍යානයක් වීම හේතුවෙනි. යාල පලටුපාන පිවිසුම් ‍ෙදාරටුවෙන් පමණක් පසුගිය වසරේදී සංචාරක ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උපයාගෙන ඇති මුදල රුපියල් මිලියන 744කි. යාල සෆාරි ජීප් රථ කර්මාන්තය දේශපාලන අධිකාරියට පවා බලපෑම් එල්ල කළ හැකි ව්‍යාපාරයක් බවට අද පත්ව තිබේ.
දිනකට ඇතුළු කළ හැකි ජීප් රථ සංඛ්‍යාව 300කට සීමා කිරීමත් සමඟ සෆාරි ජීප් රථ සංගම් සියල්ල එක්වී සංචාරක ප්‍රවාහනයෙන් ඉවත් වෙමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹුණහ. සති තුනක පමණ කාලයක් දිග්ගැස්සී ගිය වෘත්තීය අරගලයෙන් ජීප් රථ සංගම් ජයගත් අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට සහ විෂය භාර අමාත්‍යවරයාට පරාජය භාරගැනීමට සිදුවිය. එහිදී යාල වනෝද්‍යානයට දිනකට සෆාරි ජීප් රථ 400ක් ඇතුළු කිරීමට අවසර ලබාදුනි. එය සිදුවූයේ මීට මාස පහකට පමණ ඉහතදීය.

පසුගිය දෙසැම්බර් මස අග සතියේ සහ ජනවාරි මස මුල් සතියේ ඇතැම් දිනවලදී සංචාරකයන් රැගත් ජීප් රථ හයසීයකට ආසන්න සංඛ්‍යාවක් යාල වනෝද්‍යානයට පිවිසීමේ අරමුණින් එහි පැමිණ තිබිණි. උද්‍යානයට ඇතුළු විය හැක්කේ පෙරවරු 6ටය. නමුත් යාල ප්‍රධාන පිවිසුම වූ පලටුපාන ‍ෙදාරටුව අසලට විදෙස් සංචාරකයන් රැගත් ජීප් රථ පෝලිම් ගැසෙන්නේ පාන්දර හතරට හෝ ඊටත් පෙර සිටය. පසුගිය සතියේදී කිලෝ මීටර් කිහිපයක් දිගට එවැනි ජීප් රථ පෝලිමේ දැක ගත හැකි විය. යාල බැලීමට පැමිණි විදේශීය සංචාරකයන් දහස් ගණනකට හිමිදිරියේ සීතලට ගැහෙමින් පැය ගණන් ජීප් රථවලට වී සිටීමට සිදුවිය. ඒත් විදේශීය සංචාරකයකුගේ ප්‍රවේශ පත්‍රයක් සඳහා බදු මුදල්ද සමඟින් ඔවුන්ට රුපියල් තුන් දහස් පන්සීයකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ. ජීප් රථයක සංචාරක අසුන් 6කි. විදේශීය සංචාරකයන් හයදෙනකු සිටී නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අයට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් රුපියල් විසිඑක් දහසක පමණ මුදලක් උපයා ගනී. මීට අමතරව ජීප් රථයට තවත් රුපියල් හය දහසක පමණ මුදලක් වැය කිරීමටත් සංචාරකයන්ට සිදුවේ. මෙවැනි මුදලක් වැය කරමින් පැය කිහිපයක් පුරා රථ පෝලිමේ සිටින සංචාරකයන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ප්‍රමාණවත් ලෙසින් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇත.

වැසිකිළි කැසිකිළි සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නැත. වැසිකිළියකට යෑමට සංචාරකයකුට සෑහෙන වේලාවක් පෝලිමක සිටගෙන සිටිය යුතුය. ආහාර පාන, තේ එකක්, බිස්කට් පැකට්ටුවක් හෝ වතුර බෝතලයක් ලබා ගැනීමට ඇත්තේත් වනෝද්‍යාන ආපන ශාලාව පමණි. එහි ඇති දේ අලෙවි කෙරෙන්නේත් පාලන මිලට වඩා වැඩියෙනි. මෙම ගසා කෑම පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අප එහි යනවිට ආපන ශාලාවේ භාණ්ඩ අලෙවිය සිදුවූයේ නියම මිල ගණන්වලටය.
පසුගියදා සංචාරකයන් රැගත් සෆාරි ජීප් රථ හයසීයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණියත් උද්‍යානයට ඇතුළු වීමට හැකිවී ඇත්තේ අනුමැතිය ලැබූ රථ සංඛ්‍යාවට පමණි. ජීප් රථ සිය ගණනකට ආපසු හැරී යෑමට සිදුවී තිබේ.

එහිදී නැවත ජීප් රථ සංගම් ක්‍රියාත්මක විය. ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් කිහිපදෙනකුගේ මැදිහත්වීම මත යාල වනෝද්‍යානයට දිනකට ඇතුළු කරනු ලබන සෆාරි ජීප් රථ සංඛ්‍යාව හයසිය පනහ දක්වා වැඩි කරන මෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන්නේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයාගේ එකඟත්වයෙනි. එම සංඛ්‍යාව යාලට දැරිය හැකි රථ සංඛ්‍යාව මෙන් කිහිප ගුණයකි. දැනටත් දීර්ඝ නිවාඩු ඇති දිනවලදී උද්‍යානය තුළ ඇති සමහර මාර්ග දුටු විට කොළඹ නගරයේ මංමාවත්වල ඇති රථ වාහන තදබදය සිහියට නැඟේ. අප එහි සංචාරය කළේ සති මැද දිනයක වුවත් එදිනද වනෝද්‍යානයට ඔරොත්තු නොදෙන මට්ටමේ ජීප් රථ සංඛ්‍යාවක් එහි තිබිණි. වැසිකිළි කැසිකිළි පහසුකම් තිබුණේ උද්‍යානයෙහි පටලංගල ප්‍රදේශයේය. සංචාරකයන් අඩු දිනයක් වූ එදිනද වැසිකිළිවලට දිගු පෝලිම් තිබිණි.

උද්‍යානය තුළ වරුවක් ගත කළ අපට දැක ගත හැකිවූයේ එක් තනි අලියකු, වල් උෟරන් කිහිපදෙනකු සහ මීහරක් රංචු දෙකක් පමණි. යාලට ඔරොත්තු නොදෙන මට්ටමේ වාහන සංඛ්‍යාවක් පැමිණීම නිසා සතුන් සැඟවීම හේතුකොට ගෙන බොහොමයකට සිතැඟි පරිදි වන සතුන් දැක ගැනීමේ අවස්ථාව අහිමි විය. මෙය වනෝද්‍යානයේ නමටත් පිළිගැනීමටත් ලොකු කැළලකි. දැනට වසර 15ක පමණ කාලයක සිට සෑම වසරකදීම නියං සමයේදී පෝෂණ උෟනතා හේතුවෙන් වැලඳෙන රෝගාබාධවලින් අලි පැටවුන් විශාල ලෙස මියයෑම සිදුවේ. යාල උද්‍යාන සීමාව වටා ඉදිකොට ඇති අවිධිමත් විදුලි වැට නිසා ආහාර බහුල ප්‍රදේශවලට සංක්‍රමණය වීමට අලි රංචුවලට තිබූ ඉඩකඩ ඇහිරී තිබේ. යාල සංචාරක කලාපයේ සිටින අලි ඇතුන් සංඛ්‍යාව අඩුවීමට අඛණ්ඩව සිදුවන අලි පැටවුන්ගේ මරණ හේතුවක් වී ඇත.

යාල ජාතික වනෝද්‍යානය ස්ථාපිත කෙරුණේ වනජීවී සංරක්ෂණය වෙනුවෙනි. අද එය සංචාරක කර්මාන්තය තුළින් ආදායම උපයන ධන උල්පතක් බවට පත්වී තිබුණත් දිගින් දිගටම එහිදී සතුන් බලාගැනීම දුෂ්කර වුවහොත් කර්මාන්තයේ කඩා වැටීම ද වැඩි අෑතක නොවන බව සිතිය යුතුය. දේශපාලන හයිය අරගෙන සිටින ජීප් රථ සංගම් දුරදිග නොසිතා අද උපයන රුපියල ගැන සිතීමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වක්‍ර මාර්ගවලින් බලපෑම් එල්ල කිරීමත් කිසිසේත්ම අනුමත කළ හැකි ක්‍රියාවක් ද නොවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon