පොල් වගාවට හෙණ කටින රිළවුන්ගෙන් බේරෙන්න අනේ අපිට වායු තුවක්කු දෙන්න

  👤  3411 readers have read this article !
By mawbima 2018-01-14

තබ්බෝව ගොවිජන පදයේ ගම්මාන රැසක පොල් ඉඩම්වලට මේ දිනවල කඩා වැදී ඇති රිළවුන් ඉවක් බවක් නොතකා දිගින් දිගටම සිදු කරන විනාශය හේතුවෙන් ගොවියන් උග්‍ර ප්‍රශ්න රැසකට මුහුණදී ඇති බව කියැවේ.
ප්‍රදීපාගම, තේවනුවර, පාවට්ටාමඩුව, මහකොන්වැව, තබ්බෝව ඇතුළු ගම්මාන රැසක පොල්, කෙසෙල්, අඹ, ‍ෙදාඩම් වගාවලට කඩා පනින රිළවුන් රංචු බරපතළ අලාභහානි සිදු කර ආපසු එන බව ගොවියෝ කියති.
මෙසේ ඉඩකඩම්වලට කඩා වදින රිළා රංචු උදෑසන හයේ සිට සවස හය දක්වා රැඳෙමින් තම බවබෝග මුළුමනින්ම විනාශ කිරීම හේතුවෙන් ගොවියන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව කියති.

දිනකට පොල් ගස් සීයකට අධික ප්‍රමාණයක කුරුම්බා ඇට්ටි සියල්ලම කා දමන මෙම සතුන් දෙල් සහ කෙසෙල් ගස්වල පීදෙන මට්ටමේ ඇති පලදාවද කා දමන බව ගොවියෝ කියති.

මෙසේ කඩා වදින රිළවුන්ගෙන් තම බවබෝග ආරක්ෂා කර ගැනීමට නොහැකිව ගොවියන් උග්‍ර ප්‍රශ්න රැසකට මුහුණ දී ඇත.
මේ නිසා තම වගා රැක ගැනීම සඳහා රජයෙන් සහනදායී ක්‍රමයට පොල් ඉඩම් දහයකට එක් වායු තුවක්කුවක් බැගින් හෝ ලබා දීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් ගොවීන්ට එය මහත් සහනයක් වනු ඇතැයි ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ එස්.එම්. කපුරු බණ්ඩා මහතා.

'අපි නම් පුදුම කරුමක්කාරයෝ. මොකද කන්න බොන්න නැතුවවත්, යන්න එන්න වාහන නැතිවවත් නෙවෙයි. මේ වන සතුන්ගෙන් නිතර අපිට එන හිර හැර දිහා බලපුවාම ජීවිතයම කලකිරෙනවා. රෑට අලි. දවල්ට රිළව්. පුදුම කරදරයක්. අලි රෑට පොල් ගස් පිටින් පෙරළගෙන කනවා. දවල්ට රිළව් පොල් වලු පිටින් කඩාගෙන කනවා. කොච්චර මහන්සිවෙලාද ගොවියෙක් පැළයක් හිටවලා දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්නේ. ඒ හීන ඔක්කොම මේ වන සත්තු පැයෙන් දෙකෙන් විනාශ කරනවා. රජයේ වග කියන බලධාරීන්ටයි මේ කියන්නෙ. අපිට වායු තුවක්කුවක් ඉඩම් දහයකට එකක් හරි ලබා දෙන්න. එතකොට හරි අපිට රිළවුන්ගෙන් නිදහස් වෙලා අපේ බෝග ටික රැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව අවුරුද්දක් දෙක්ක යද්දී අපිට අපේ ඉඩකඩම් ගේ ‍ෙදාර වන සතුන්ට දායාද කරලා වෙස්සන්තර වෙන්නයි වෙන්නේ' පැවැසීය.
'එක පැත්තකින් වල් අලි තවත් පැත්තකින් රිළව්. අනෙක් පැත්තෙන් දඬු ලේන්නුයි, මොනරුයි. මේ හතර පැත්තටම කොටු වෙලා තමයි අපේ වගා රැක ගෙන ඉන්නේ. හරියට දත් තිස් දෙක මැද්දෙ දිව තියෙනවා වගේ. රිළවා කියන්නෙ මහ පුදුමාකාර සතෙක්. අපේ පරම හතුරෙක් වගේ කුරුම්බා ඇට්ටේ ඉඳලා කුරුම්බා ගෙඩිය වෙනකම්ම කඩලා කනවා. සම්පූර්ණයෙන්ම කනවා නම් කිසි දුකක් නෑ. කන්නෙත් නෑ. උලා කාලා බිම වට්ටනවා. ඉතිං දවසට කුරුම්බා ඇට්ටි දහයක් වට්ටනවා කියන්නේ මාසෙකට කීයක් වට්ටනවාද. ඉතිං පොල් හැදෙන්නෙ කොහොමද. පොල් මිල වැඩියි කියනවා සමහරු. ඉතින් පොල් මිල වැඩිවෙන්න හේතුව තමයි රිළවුන් පොල් පලදාව විනාශ කිරීම.' ඉසුරුපාල මහතා අප සමඟ කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon