හිතුමතේ වැඩ නිසා අපේ තේ අපතේ යයිද?

  👤  3464 readers have read this article !
By mawbima 2018-01-14

ශ්‍රී ලංකාවේ තේ සහ කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීම තාවකාලිකව තහනම් කරන ලද රුසියාව සති දෙකක් හා තවත් දින දෙකක් ඇවෑමෙන් එම තීරණය වෙනස් කර තිබේ. ඉකුත් දෙසැම්බර් 18 වැනිදා සිට තහනම බල පවත්වන බව එරට කෘෂි ආනයන ආරක්ෂණ ඒකකය නිල වශයෙන් දැනුම් දී තිබුණු අතර පසුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරන ලද විවිධ බලපෑම් අවසානයේදී තේ සම්බන්ධ ගුණාත්මක වාර්තාවක් ඉල්ලා තිබේ.

කප්රා බීටල් නමැති කෘමි විශේෂයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ තොගවලින් හමුවූ අතර එම කෘමි විශේෂය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අවහිර කරන ලද බව මතුපිටින් දක්වන ලද නමුත් අර්බුදය එයට වඩා සියුම් එකකි. රුසියානු ඇස්බැස්ටෝස් සහ ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය 2018 වසරේ සිට ආනයනය ශ්‍රී ලංකාව තහනම් කර තිබුණු නමුත් කැබිනට් මණ්ඩලය එය වහාම සංශෝධනය කළේය. ඇමෙරිකාව හා රුසියාව අතර තිබුණු කිසියම් දේශපාලන අවුලකටද ශ්‍රී ලංකාව දැනුවත්ව හෝ නොදැනුවත්වම ගොදුරු වී ඇත. එම රටවල් දෙකම විමසිල්ලෙන් සිටි ඔත්තුකරුවකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ලද ආකාරය රුසියාවේ නොසතුටට හේතුවී යැයි පැවැසේ. එය තේ ඇතුළු කෘෂි අපනයන තහනම දක්වා දුරදිග ගොස් ඇති යැයි කියන අදහසද බැහැර කළ නොහැකිය.

උතුරු කොරියාව හා චීනය අතර පවතින සම්බන්ධයද සලකා බැලීම සුදුසුය. බටහිර විචාරකයන්ට අනුව මාවෝ සේතුං කාලයේ සිට එම රටවල් දෙක අතර සම්බන්ධය 'දත් සහ තොල්' අතර පවතින හාදකමක් වැනි එකකි. උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පනවා ඇති සම්බාධක මැද පවා චීනය උතුරු කොරියාවට ඉන්ධන ඇතුළු අවශ්‍ය දේ සම්පාදනය කර තිබේ. චීන නැව් උතුරු කොරියාවට ඛනිජ තෙල් සපයන අවස්ථා ඇමෙරිකානු චන්ද්‍රිකා මඟින් රූපගත කර ජාත්‍යන්තරයට මුදාහැර ඇත. උතුරු හා දකුණු කොරියානු රටවල් අතර පවතින ගැටලු හමුවේ ලෝකයේ සම්බන්ධතා කඳවුරු දෙකකට බෙදී තිබේ. බටහිරට ළැදි දකුණු කොරියාවට හාත්පසින්ම වෙනස් උතුරු කොරියාව සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ප්‍රතිපත්තිය සැහැල්ලු එකක් නොවේ. ශ්‍රී ලංකාවට ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ගැටලු මතුවන විට රුසියාව සහාය දුන් ආකාරයටම උතුරු කොරියාවට සහාය පළ කරන්නට රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් ඉදිරිපත් විය. එසේ තිබියදී එක පැත්තකින් රුසියානු සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එයින් මාස කිහිපයකට පසු දකුණු කොරියාවට ගොස් ඉහළම ගෞරවයට පාත්‍ර වී ගරු පුරවැසිභාවයද ලබාගැනීම රුසියාවේ අවධානයට ලක් නොවූයේ යැයි සඳහන් කළ නොහැකිය.

රටවල් අතර බලපවත්වන අතිශය සංවේදී කාරණාවලදී සැහැල්ලුවෙන් කල්පනා කර තීරණ ගතහොත් එල්ල විය හැකි ඉරණම ගැන මෙම සිද්ධිය එක්තරා පාඩමකි. විදේශ අමාත්‍යාංශ නිලධාරීහු උතුරු - දකුණු කොරියා ප්‍රශ්න හා ශ්‍රී ලංකා - රුසියානු සම්බන්ධතා පසුබිම සම්බන්ධව නිවැරැදිව උපදේශනයක් කර ඇති බවක් නොපෙනේ. රාජ්‍ය නායකයන් අතර යහපත් හිතවත්කම් පවතින නමුත් ප්‍රතිපත්ති තීරණ හා ඔත්තු සේවා අංශවල බලපෑම් ඉතාම ප්‍රබල බව මෙහිලා සඳහන් කළ යුතුය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව තේ මිලදී ගැනීමට රුසියාව කැමැත්ත පළ කර තිබේ. එයට කොන්දේසි ඇතුළත් බව ප්‍රකාශ වෙයි. තේ මණ්ඩලය හා රුසියාවේ සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ඇතුළු පිරිසක් මොස්කව් නගරයේදී එළැඹුණ හදිසි තත්ත්වය ගැන සාකච්ඡා කර ඇත. දහ හතර දෙනෙකුගෙන් යුතු රුසියානු තේ විශේෂඥයන් පිරිසක් ලබන වසරේදී මෙරටට පැමිණීමට නියමිතය. එම පිරිස මෙරට තේ ගැන සොයා බලනු ඇත. එය එක කොන්දේසියකි. ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ට අනුව මෙරට තේ ගැන තත්ත්ව වාර්තාවක් රුසියාවට නිකුත් කරනු ඇත. ලෝකයේ හොඳම තේ නිපදවන රට තමන්ගේ තේ ගැන තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කරන තරමට තත්ත්වය සංකීර්ණ වී තිබේ. ගිවිසුම අවශ්‍ය කරන ලද සෙසු කාරණා ගැන තවමත් අලුත් යමක් හෙළිදරව් නොවේ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අනුගමනය කරන ප්‍රතිපත්ති කෙරෙහි පූර්ණ සමාලෝචනයකට ගමන් නොකළහොත් තේ වෙළෙ¼දාම සම්බන්ධ අයහපත් වාතාවරණය තවදුරටත් පවතින්නට ඉඩ තිබේ. හුදෙක් රටවල් දෙකක් අතර තේ සහ ඇස්බැස්ටෝස්වලට එපිටින් ඇති අදෘශ්‍යමාන භයානක දේශපාලනයක් පවතින බව තේරුම් ගැනීම වැදගත්ය.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වසර 150ක් සම්පූර්ණ කර ඇත. එම වකවානුවේදී ලෝකයේ ප්‍රධාන තේ පරිභෝජන රටක් වශයෙන් රුසියානු තේ වෙළෙ¼දාම අවධානයට ගැනීම අවශ්‍යයි. තේ අපනයනය පුළුල් කරන අතර වඩා උසස් ලාංකේය තේ රසය ලොව පුරා ප්‍රචලිත කරන්නට තේ මණ්ඩලය පියවර ගනිමින් සිටියේය. විනිමය ඉපැයීම අතින් හතර වැනි තැනට පත්වීම එවැනි අවශ්‍යතාවකට හේතුවයි. රුසියාවේ වසරේ ගතවූ මාස එකොළහක් තුළ මෙරට අපනයන ආදායම් සම්බන්ධයෙන් තේ වලට හිමි තැන හතර වැනි තැන දක්වා පහත වැටී ඇත. සංචාරක කර්මාන්තය 2008 වසරේ දී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම සම්බන්ධයෙන් නව වැනි ස්ථානයේ සිටි අතර අද එය තුන් වැනි තැනට පැමිණ තිබේ. තේ කර්මාන්තයේ ඉරණම ගැන තත්ත්වය පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවද පුළුල් තැනක් දක්වා යොමු නොකළහොත් අනාගතය තවදුරටත් අවදානමක බව පෙනේ.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වැඩිදියුණු වීමක් නැත. පසුගිය වසරේ ලෝකයේ තේ නිෂ්පාදනය සියයට හයකින් වැඩිවී ඇත. ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට සපයන තේ ප්‍රතිශතය ක්‍රමයෙන් සීමා වෙමින් තිබේ. 2015දී සියයට 17ක ප්‍රතිශතයක් මෙරටින් සපයන ලද නමුත් 2016 වන විට සියයට හය දක්වා අඩුවී ඇති බව ලෝක තේ අලෙවි වාර්තා පෙන්වයි. තේ වෙළෙ¼දාම සම්බන්ධ තොරතුරුවලට අනුව ලෝකයේ ඇතැම් රටවල් තේ මිලදී ගැනීම වැඩි කර ඇත. වියට්නාමය ඒ අතරින් ප්‍රධානය. ආර්ථික ප්‍රශ්නවලින් මිදෙන වියට්නාමය 2016 වසරේදී තම රටට ගෙන්වන තේ ප්‍රමාණය සියයට 17.98කින් වැඩි කර ගැනීම හා මොරොක්කෝව සියයට 19.2කින් ආනයන නංවා ඇති බව අවධානයට ගත යුතුය. නෙදර්ලන්තය සියයට 13කින් හා ඇමෙරිකාව සියයට 10කින් තම රටට ගෙන්වන තේ ප්‍රමාණය වැඩි කර තිබේ.

ශ්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට විසිතුනක් යැවෙන්නේ රුසියාවටය. එය මෙරට තේ අපනයනයෙන් හතරෙන් එකකට සමාන කළ හැකිය. රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරන අතරතුර අලුත් වෙළෙඳපොළ සොයා ගැනීමද සුදුසුය. රටට තේ කර්මාන්තය සම්බන්ධයෙන් අභියෝගයක් තිබේ. නිෂ්පාදනය වැඩි කර ගැනීම, අලුත් වෙළෙඳපොළ සොයා ගැනීම හා පවතින වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීම ඒ අතරින් ප්‍රධානය.

ශාමින්ද වත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon