පුවත්පත් කතුවර ජටිල වැල්ලබඩ අභාවප්‍රාප්ත වෙයි

  👤  4015 readers have read this article !
By mawbima 2018-01-22

ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති උපදේශකවරයා ලෙස කටයුතු කළ හිටපු ජේ‍යෂ්ඨ පුවත්පත් කතුවරයකු වූ ජටිල වැල්ලබඩ මහතා ඊයේ (21දා) පෙරවරුවේ හදිසියේ අභාවප්‍රාප්ත විය.

මියයන විට 57 වැනි වියේ පසු වූ වැල්ලබඩ මහතා දිනපතා 'ලක්බිම' හා 'ඉරුදින' පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා වශයෙන් දශක එකහමාරක් පමණ සේවය කළේය.
ප්‍රියදර්ශනී කැකුණගොඩ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ වැල්ලබඩ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ සේවයේ නියුතු ඉෂ්ඨාර්ථ වැල්ලබඩ හා කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍යා සෞන්දර්යා වැල්ලබඩ දූ පුතුන්ගේ ආදරණීය පියාණන්ද විය.
1983 වසරේදී 'දිවයින' පුවත්පතේ ක්‍රීඩා අංශයේ මාධ්‍යවේදියකු ලෙස ඔහු පුවත්පත් කලා දිවිය ඇරැඹූවේය.
ජටිල වැල්ලබඩ මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂවරයකු වශයෙන්ද කටයුතු කරමින් සිටියේය.කර්තෘ සංසදයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද දෙවරක් කටයුතු කර ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ වැල්ලබඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23 වැනිදා) පස්වරු 5.00ට කැලණිය, පිලපිටිය ආදාහනාගාරයේදී සිදුකෙරේ. අවසන් ගෞරවය සඳහා දේහය කැලණිය, සිංහාරමුල්ලේ, විහාර මාවතේ අංක 1 දරන තැන පිහිටි නිවෙසේ තැන්පත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon