අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

  👤  3406 readers have read this article !
By mawbima 2018-01-22

චාමර අමරසූරිය, හාලිඇළ - පියල් කිත්සිරි,
බදුල්ල - ටී.බී. රත්නායක, සොරණාතොට - සේන විජේනායක

උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියව දණ ගස්වා බැන තර්ජනය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අදාළ විදුහල්පතිනියට හිංසා කළ බවට සඳහන් කෙරෙන තොරතුරු සහ පොලිසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මෙලෙස උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම මෙම පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීම සඳහා උෟව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු උෟව පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත් කරගන්නා ලෙසද ජනාධිපතිවරයා උෟව පළාත් ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් ලබාදී ඇත.

 

මේ පිළිබඳව සිදු කෙරෙන අපක්ෂපාතී පරීක්ෂණ වාර්තාවේ සඳහන් කෙරෙන ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙසද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.
එසේම චෝදනා ලැබ සිටින උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තමා දරන අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවද පැවැසීය.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා තමා මෙම තීරණය ගත් බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරයි.
ඊයේ (21දා) පෙරවරුවේ පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අස්සන් තබමින් හෙතෙම මෙම ප්‍රකාශය සිදු කළේය.

අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට මාධ්‍යවේදීන් හමුවේ අස්සන් තබමින් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමාට විරුද්ධව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාරය මඟින් තමන් ගෙන යන මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස දෙවැනි වරටත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමේ ලිපියකටද මෙහිදී පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් මාධ්‍ය හමුව අතරතුර අස්සන් තබන ලදී.

උෟව මහ ඇමැතා අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වහාම පළාත් ආණ්ඩුකාරවරයා වෙත යැවීමට පියවර ගෙන ඇති බව මෙහිදී පැවැසූ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.බවානි මහත්මිය මෙවැනි කිසිදු සිද්ධියක් ඇති නොවූ බව මාධ්‍යට මුලින් ප්‍රකාශ කොට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් කිසිදු අවසරයකින් තොරව බලහත්කාරයෙන් එම විද්‍යාලයට ගිය පසු තමා විසින් නිල නිවෙසේදී දණ ගස්සවා වන්දවා ගත් බවට ද්වේෂසහගත චෝදනාවක් එල්ල කර සිය කීර්ති නාමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාවට නංවා ඇතැයිද කීය.

රටේ මහත් ආන්දෝලනයක් වී ඇති මහ බංකු මංකොල්ලයට චෝදනා එල්ල වී ඇති අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් තමාද ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මෙහිදී පැවැසූ ප්‍රධාන අමාත්‍යවරයා වඩිවේල් සුරේෂ්, චමින්ද විජේසිරි යන අය දෙමළ මුස්ලිම් ජාතිවාදයක් මේ හරහා ඇවිළීීමට උත්සාහ දරන බවද කීය.

සිය කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාවට සමන්ත විද්‍යාරත්නට, ලංකා ගුරු සේවා සංගමයේ වරුෂමාන සහ හපුගොඩ යන අයට විරුද්ධව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා ඒනතරවාසි යවා ඇතැයි වැඩිදුරටත් කී ප්‍රධාන අමාත්‍ය දසනායක මහතා දින 14ක් තුළ ඔවුන්ට විරුද්ධව නඩු පැවැරීමට පියවර ගන්නා බවද කීය.
මේ අතර දණ ගැස්සවූ බව කියන විදුහල්පතිනිය පොලිසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කෙළේය.
විදුහල්පතිනියට කිසියම් හිරිහැරයක් සිදුව ඇය මානසික පීඩාවකට පත්ව ඇත්දැයි බැලීමට මෙසේ වෛද්‍ය පරීක්ෂණයට භාජන කළ බව පොලිසිය කීය.
බදුල්ල මහ රෝහලට ගෙන යෑමට මත්තෙන් විදුහල්පතිනිය පොලිස් නිලධාරීන් විසින් උෟව ප්‍රධාන අමාත්‍ය නිල නිවෙසට කැඳවාගෙන ගොස් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළහ.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් (එ.ජා.ප.), උෟව පළාත් සභා මන්ත්‍රි (ජ.වි.පෙ.) සමන්ත විද්‍යාරත්න, උෟව පළාත් සභා මන්ත්‍රි ගනේෂ මූර්ති යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon