රාජපක්‍ෂ යුගයේදී බිලියන හාරදහසක බැඳුම්කර වංචාවක් සිදු වූ බව කීම බොරුවක්

  👤  3720 readers have read this article !
By mawbima 2018-01-23

රාජපක්ෂ යුගයේදී බිලියන හාරදහසක වංචාවක් සිදු වුණා කියා බැඳුම්කර වාර්තාවේ තිබෙන බවට ජනපති හා අගමැති පුන පුනා සෑම විටම සෑම තැනම ප්‍රකාශ කරන බවත් රාජපක්ෂ යුගයේදී එහෙම වංචාවක් පිළිබඳ කිසිම සඳහනක් වාර්තාවේ නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (22දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

මම පිටු 945ක බැඳුම්කර වාර්තාව මුල සිට අගට කියෙව්වා. උපලේඛණ විතරයි තවමත් කියවන්න තිබෙන්නේ. රාජපක්ෂ යුගයේදී එවැනි වංචාවක් ගැන ස¼දහනක් වාර්තාවේ නෑ. එහෙම සඳහනක් තිබෙනවා නම් එය තිබෙන්නේ කුමන පිටුවේද කියා පෙන්වන්න කියලා මේ බොරුව ප්‍රචාරය කරන අයට මම අභියෝග කරනවා.
වාර්තාවේ 915 පිටුවේ වැදගත් සඳහනක් තිබෙනවා. 2008 සහ 2014 අතර කාලයේදී සෘජු තැන්පතු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිමේදී අයථා කටයුතු සිදු වීමට ඉඩ තිබුණු බවට සාධක තිබෙනවා. ඒ නිසා වෝහාරික විගණනයක් කර එවැනි දෙයක් සිදුවී තිබේ නම් ඊට වගකිවයුතු මහ බැංකුවේ නිලධාරීන් හෝ ප්‍රාථමික තැරැව්කරුවන් හෝ වෙනත් අය හඳුනාගෙන සිදුවී ඇති අලාභය ගණනය කරන්න කියලා කෙමිසමේ 11 වැනි නිර්දේශයේ සඳහන් වෙනවා.

ප්‍රාථමික තැරැව්කරුවන්ගෙන් අල්ලස් ලබාගෙන සංවේදී අභ්‍යන්තර තොරතුරු ලබාදීම වැනි අකටයුතුකම් මේ කාලයේ සමහර නිලධාරීන් කර තිබෙන නිසා එම යුගයේත් සමහර නිලධාරීන් එසේ කටයුතු කරන්නට ඉඩ ඇතැයි කියන සාධාරණ සැකය මතයි මේ 11 වැනි නිර්දේශයක් ලබාදී තිබෙන්නේ. ඒ හැරුණුවිට රාජපක්ෂ යුගයේදී බිලියන 4000ක බැඳුම්කර වංචාවක් සිදු වුණා කියා බැඳුම්කර කොමිෂන් වාර්තාවේ කිසිම සඳහනක් කර නොමැති බව අපි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා.
2018 ජනවාරි 03දා සහ ජනවාරි 17 අතරතුර කාලයේදී බැඳුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් වී ඇති බව පසුගිය 18දා අපි රටට හෙළි කළා. ජනාධිපතිතුමා ජාතිය ඇමතූ අවස්ථාවේ වාර්තාවේ පිටු 1257ක් තිබෙන බව ප්‍රකාශ කළත් අන්තර්ජාලයට මුදාහැරිය වාර්තාවේ තිබෙන්නේ පිටු 1154යි. අපි මේ ගැන රටට හෙළි කළේ පසුගිය 18 වැනිදා. මේ දක්වා ආණ්ඩුවේ කිසිම නායකයෙක් මේ පිටු 103ට කුමක්ද වුණේ කියලා රටට පැහැදිලි කළේ නෑ.

වාර්තාවේ අඩංගු සංවේදී කරුණු ජනාධිපති ලේකම් විසින් නීතිපති උපදෙස් ලබාගන්නා තුරු ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ නිසා පිටු 103ක් අඩු වුණු බව කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. ඒ කතාව ඇත්ත නම් තත්ත්වය වඩාත් භයානකයි. යම් සංවේදී තොරතුරක් තිබෙනවා නම් ඒවා සපයන ආයතන විසින් ඒවා ප්‍රසිද්ධ නොකරන මෙන් ඉල්ලා සිටිය යුතුයි. නැතිනම් කොමිසම විසින් ඒවා ඒවා ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ යුතුයි. ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් සිටි කොමිසමක් විසින් වාර්තාවට ඇතුළත් කිරීමට තීරණය කළාට පස්සේ ඒවා ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කිරීමට ජනපති ලේකම් කවුද? මම දන්න ඔස්ටින් ප්‍රනාන්දු මහතා නම් කවදාවත් එවැනි පණ්ඩිත වැඩක් නොකරන බව මට විශ්වාසයි.

2017 මැයි දිනය දා වැඩිම සෙනඟ ආවේ ගැටඹේ පිට්ටනියට කිව්වා. නමුත් අපි ගාණත් හදලා පෙන්නුවා ගැටඹේ පිට්ටනිය අක්කර දෙකහමාරයි. අපේ මැයි දින රැලිය පැවැත්වූ ගාලු මුව‍ෙදාර පිට්ටනිය අක්කර 18යි. මම අමරවීර ඇමැතිතුමා ප්‍රසිද්ධියේ කියූ බොරු 11ක් සොයා ගත්තා. ඒ සියල්ල මෙතැන කියලා කාලය නාස්ති කරන්න මම කැමැති නැහැ. මම එතුමන්ට අභියෝග කරනවා ඔබද බොරුකාරයා. මමද බොරුකාරයා කියන එක රටටම දැනගන්න අවස්ථාවක් සලසන්න මා සමඟ විවාදයකට එන්න කියලා. මහින්ද අමරවීර ඇමැතිතුමාට, එතුමාගේ මට්ටමින් තමන්ව මැනලා අමාරුවේ වැටෙන්න එපා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon